Sri Lanka Brief
විශ්ලේෂනනොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

නොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

by

(සුමන්දිරන් මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය අතරතුර නිල නොවන පුවත්පත් සාකච්ජාවක අදහස් දක්වයි)

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් වැඩපිළිවෙළක් දියත්ව ඇති පසුබිමක් පෙනෙන්නට තියෙනවා. නමුත් ඇතැම් පාර්ශ්ව මතුකරනවා නව ව්‍යවස්ථාව කියන්නෙ රට බෙදන, ස්වෛරීත්වයට හානි කරන මර උගුලක් කියලා. අපි කැමැතියි රටට මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඕන ද කියන තැනින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න?

ඔය කාරණයේ දී ඇත්තටම අපේ ස්ථාවරය මොකක්ද කියන එක පැහැදිලිව කියන්න ඕන. 72 දී මේ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ආවා. ඒ වගේම 78 මේ තියෙන ව්‍යවස්ථාවත් ගෙන ආවා. නමුත් මේ කිසිම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේ එකඟත්වය සලකා බැලු‍ණේ නෑ. අවම වශයෙන් රටේ අනෙක් පක්ෂවල එකඟතාවත් සලකා බැලු‍ණේ නෑ. තනිකරම සිදු වුණේ තනි දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත. දැන් අපි යුද්දෙන් පසුව සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය ගැන කතා කරමින් ඉන්නෙ. ඒ තුළ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියෙනවා. මොකද එතැන තියෙන්නෙ පුරවැසියෙක් රාජ්‍යය සමඟ කොහොමද ගනුදෙනු කරන්නේ කියන දේ. ඒ වගේම රටේ ඉන්න විවිධ ජන කොටස්වල අයිතිවාසිකම් මොනවද වගේ දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි සඳහන් වෙන්නෙ.

දැන් බලන්න 72 ව්‍යවස්ථාව සකස් කරන කොට මං කලිනුත් සඳහන් කළ විදිහට දමිළ ජනතාවගේ අදහස් සහ එකඟතා සැලකිල්ලට ගත්තෙ නෑ. ඒ නිසා තමයි දමිළ ජනතාවට වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන තැනට කාරණා සිද්ධ වුණේ. වදුක්කොඬේ හඬ නැගුණේ ඒ ගැන කියමින්. මොකද අපිව රාජ්‍යයෙන් පිටුවහල් කරපු තත්ත්වයක් තමයි එතැන තිබුණේ. 83 දී 6 වන සංශෝධනයට අනුකූලව දිවුරුම් දෙන්න බෑ කියලා අපට ආසනත් නැති වුණා. දැන් ඒ හඬ නෑ. කොහොම නමුත් පළාත් සභා ක්‍රමය ආවට පස්සෙ අපි වෙනම රාජ්‍යයක්‌ වෙනුවට එක රාජ්‍යයක්‌ තුළ බලය බෙදීමේ ක්‍රමය පිළිගෙන නැවත පාර්ලිමේන්තුවට ආවා. නමුත් ඔබලාට මතක ඇති 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් හරියට ක්‍රියාත්මක වුණේ නෑ. කොහොමත් අපි 13 සංශෝධනය හරහා ගෙන ආපු බලය බෙදීම තුළ අඩුපාඩු ඇති බවත් එය සංශෝධනය කළ යුතු බවත් පෙන්වා දුන්නා. ඒ නිසා තමයි 93 මංගල මුණසිංහ තේරීම් සභාවෙ ඉඳලා 93 සිට 2000 දක්වා මේ ගැන විවිධ කොමිසම්, කමිටු සහ යෝජනා ක්‍රියාත්මක වුණේ.

2000 අගෝස්තුවේ ව්‍යවස්ථා කෙටුම්පතක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. රාජපක්ෂ සමයේත් මේ වෙනුවෙන් කමිටුවක් පත් කළා. ඒ තුළ ඉතා පැහැදිලි වෙනවා මෙතන ප්‍රශ්නයක් තියනවා සහ විසඳුමක් ඒ වෙනුවෙන් අවශ්‍යයි කියන එක. යෝජනා ගොඩක් ආවත් විසඳුමක් තවම නෑ. දැන් හොඳ අවස්ථාවක් තියනවා.

දැන් LTTE ය පවා නෑ. ඔවුන් පවා රජය සමඟ සාකච්ඡා කරන විට එක රට තුළ බලය බෙදීමට එකඟ වුණා. නමුත් ඔවුන්ගේ ක්‍රියාව තුළ එය තිබුණේ නෑ. ඔවුන්ගේ අපේක්ෂාව වුණේ සටන් කරලා වෙනම රටක් පිහිටුවීම. දැන් ඒක නෑ. අනික 1957 ඉඳලා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම වගේ ගිවිසුම් කීයක් අත්සන් කරලා තියනවද? ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නෑ. එතැන දී වුණේම ආණ්ඩු පක්ෂය එකඟ වුණොත් විරුද්ධ පක්ෂය එරෙහිවෙන එක. නමුත් දැන් වෙනස් තත්ත්වයක් තියෙන්නෙ. දැන් රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ කියන්නෙ හොඳ අවස්ථාවක් තියනවා.

ඒ වගේම තමයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා කාලෙක ඉඳලා කතා බහක් තියනවා. එය පසුගිය ජනාධිපතිවරණයේ දී ජන වරමකින් තහවුරු කරලා තියනවා. ඒ නිසා ඒ වෙනුවෙනුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කොහොමටත් හදන්න වෙනවා.

විධායක බලතල සහිත ජනාධිපති ධුරය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට අදාළව ජන වරමක් ලැබී තියනවා කිව්වට එය පැහැදිලි අභියෝගයක් නේද? දින 100 ආණ්ඩුව තුළ සිදු කරන බවට පොරොන්දු වූ සංශෝධන පවා කර ගැනීමට නොහැකි වුණා?

මගේ මතය නම් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කළයුතු බවට පැහැදිලි අදහසක් රට තුළ තියෙනවා. ජනවරමකුත් තිබෙනවා. ඒ නිසා

අභියෝගයක් නෑ.

එහෙනම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී මොකද වුණේ?

එතැන දී තිබුණේ වෙන කාරණයක්. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් පැහැදිලිව තිබුණා දින 100 ආණ්ඩුවේ දී කරන ප්‍රතිසංස්කරණවල දී ජනමත විචාරණයකට යා යුතු සංශෝධන නොකරන බව. එය ඉතා පැහැදිලි කාරණයක්. නමුත් දැන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ කොහොමත් ජන මත විචාරණයකින්. ඒ නිසා ගැටලුවක් නෑ.

බලය බෙදීම ගැන ලොකු කතා ගොඩක් ඇහෙනවා. නමුත් මෙරට අත්දැකීමට අනුව නම් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා නෑ?

ඇත්ත. ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් එහි ගැටලු තිබුණා. විධායක ජනාධිපති ධුරය ඉවත් කරනවා නම් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල ඉවත් වෙනවා. මොකද පළාත් සභා වෙනුවෙන් විධායකය නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා. ජනාධිපති සතු බලය තමයි ඔහු හරහා ක්‍රියාත්මක වෙන්නෙ. 13 ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩුවක් විදිහට එය පෙන්වා දෙන්න පුළුවන්. මොකද ජනතාවගේ ජන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන් පළාත් සභාවේ සිටියත් විධායක බලතල තියෙන්නෙ ආණ්ඩුකාරවරයට. ජනාධිපති හරහා මේ බලය ආණ්ඩුකාරවරයාට ලැබෙන නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කළාම ඒ ගැටලු‍වත් විසඳෙනවා. එවැනි අඩුපාඩු කිහිපයක්ම තියනවා. මෙතැන දී ඒවත් සලකන්න ඕන.

බලය බෙදීම සම්බන්ධව ඔබලා යෝජනා කරන ව්‍යුහය මොන වගේද?

පළාත් සභා ක්‍රමය හොඳයි. බලය බෙදීමේ දී ප්‍රාථමික විය යුත්තේ පළාත් සභා කියලා තමයි අපි පිළිගන්නේ. සමහර පළාත් සභා එකතු වීම ගැනත් මේ වෙනකොට සාකච්ඡා වෙනවා. ඇත්තටම මේ ගැන විවිධ විකල්ප සලකා බලමින් සාකච්ඡා වෙමින් තියනවා.

ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත් සභාවලට දීම සම්බන්ධවත් රට තුළ යම් විරෝධයක් පවතින බවක් පේනවා. නව ව්‍යවස්ථාව සැකසීමේ දී මේ කාරණා කොහොමද විසඳගන්න බලාපොරොත්තු වෙන්නෙ?

දැනටමත් 13 ව්‍යවස්ථා සංශෝධනය තුළ පොලිස් බලතල යම් ප්‍රමාණයකට තියනවා. ඉඩම් බලතල තමයි අඩුවෙන් තියෙන්නෙ. නමුත් මේ ප්‍රශ්න 2000 වසරේ ගෙනාව ව්‍යවස්ථා කෙටුම්පත තුළ සැලකිය යුතු ප්‍රමාණයකට විසඳලා තිබුණේ. සැලකිය යුතු බලතල ප්‍රමාණයක් දීලා තිබුණා. මෙතන දී මං 2000 වසරේ කෙටුම්පත ගැන කතා කරන්නේ ඊට පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝ පක්ෂ එකඟව සිටි නිසයි. එක්සත් ජාතික පක්ෂයත් එකඟ වුණා. එදා එක්සත් ජාතික පක්ෂය ඒ කෙටුම්පතට ගිනි තිබ්බෙ එක් කාරණයක් නිසයි. ඒ ධුරකාලය අවසන් වන තෙක් හිටපු ජනාධිපතිවරයා විධායක බලතල තියා ගැනීම මුල් කරගෙන. ඒ හැර වෙනත් ප්‍රශ්නයක් තිබුණේ නෑ.

ඒ වගේම පසුව මහින්ද රාජපක්ෂත් ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් හදනවා. එතැනදිත් මේ කාරණා නිර්දේශ කළා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ.

නමුත් සමහර දේශපාලන පක්ෂ බලය බෙදීම සම්බන්ධව උග්‍ර විරෝධයක සිටිනවා. ඔවුන් කියන්නෙ LTTEට යුද්දෙන් කරගන්න බැරි වුණ දේ වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලනයෙන් කරගන්න ඉඩ දෙන බවක්. ඔබලා මේ අභියෝගය පාර්ලිමේන්තුව තුළ කොහොම විසඳගත්තත් ජන සමාජය තුළ විසඳගන්නෙ කොහොමද ?

ඔබලා හරි. මෙතැන දී අවශ්‍ය වෙන්නෙ සමාජයට ඇත්ත පැවසීමයි. ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධයි කියලනෙ ඒ අය කියන්නෙ. ඇත්තටම මේ රටට ෆෙඩරල් ක්‍රමය ගැන මුලින්ම කිව්වේ කවුද? ඉතිහාසයට ගිහින් බලන්න. 1926 දී එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහත්තයා තමයි මේක කිව්වේ. එතැන දී කිව්වේ ස්විට්සර්ලන්තයේ තියෙන ෆෙඩරල් ක්‍රමයකට යමු කියලා. ඒ කියන්නෙ ෆෙඩරල් ක්‍රමය තුළ උපරිමවම බලය බෙදූ ක්‍රමයක්. ඊට පස්සෙ 1931 ඩොනමෝර් කොමිසම ඉදිරියට ගිහින් 1946 සෝල්බරි කොමිසම ඉස්සරහට ගිහින් කැන්ඩි ලීගය තමයි කිව්වේ ෆෙඩරල් ක්‍රමයක් ඕන කියල. ඇයි මේ ඇත්ත නොකියන්නෙ. මේක මේ අපි කොහෙන්වත් අරගෙන ආව මතයක් නෙවෙයි. සිංහල ජනතාව පවා ඉල්ලා සිටි ක්‍රමයක් මේක. ඒ කාරණය මිනිස්සුන්ට පැහැදිලි කරදීම අවශ්‍යයි.

කොහොමත් ජනමත විචාරණයකට මේ කාරණයත් ඇතුළත්ව තමයි නව ව්‍යවස්ථාව ඉදිරිපත් වෙන්නෙ. එතැන දී මිනිස්සු බලන්න ඕන විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව බලන්න ඕන මේ රට සිංහල බෞද්ධ විතරද නැතිනම් හැම ජනකොටසකටම සමාන අයිතිවාසිකම් තියන රටක් ද කියන එක.

ඒක ජනමත විචාරණයෙ දී ඔප්පු වෙයි. ටිකක් හිතන්න සංහිඳියාවක් වෙනුවෙන් මෙය අවශ්‍යයි. එහෙම නොවුණු නිසා නේද ප්‍රශ්න ඇති වුණේ? අනෙක් ජන කොටස් වෙන පැත්තක් බැලු‍වේ? ඒ නිසා නිවැරැදි තීරණයක් ගන්න ඕන.

අවුරුදු 30ක යුද්ධය නිසා උතුරත් දකුණත් එක සමානව බැට කෑවා. ආයෙත් එවැනි තත්ත්වයක් මතු නොවෙන තැනකට යන්න ඕන නිසයි මේ බරපතළකම අපි මතු කරන්නේ?

ඇත්තටම අපි ඉතා පැහැදිලිව කියලා තියනවා එක රටක් තුළ බලය බෙදාගැනීමට අපි සුදානම් කියලා. ඉතා පැහැදිලිව එය අපි කියනවා. මේක බෙදිය නොහැකි, කොහෙත්ම බෙදිය නොහැකි, කවදාවත්ම බෙදිය නොහැකි රටක් කියන ඕනම කොන්දේසියකට අපි එකඟයි කියලා තියනවා.

ඒ කොන්දේසියට දෙමළ සන්ධානය එකඟද?

ඔව්. ආයෙ දෙකක් නෑ. අපි එකඟයි. අනික ඒ යෝජනාව අපිත් කළ එකක්. එක රට තුළ තමයි අපිටත් ජීවත් වෙන්න ඕන. අපි අපේ මැතිවරණ ප්‍රකාශනයට පවා එය ඇතුළත් කළා. ඒ වෙනුවෙන් ගත්ත ජනවරමක් අපිටත් තියනවා. ඒ නිසා තමයි අපි කියන්නෙ එකට ජීවත් වීම සහ සියලු‍ ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කරගැනීම වෙනුවෙන් යම් පදනමක් දෙන්න කියලා.

අපි කැමැතියි, ඔබ කියන ඔය “පදනම” ටිකක් පැහැදිලි කරනවා නම්?

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර මතය, බහුතරයේ ජන්දය. නමුත් එය එක ජනකොටසක් ජීවත් වෙන රටකට අදාළව නියම ලෙස ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් වෙන වෙන ජන කොටස් ඉන්න රටක් නම්, ඒ තුළ සුළුතර ජනතාවක් ඉන්නව නම් ඒ අයට අගතියක් වන ලෙස තමයි එය ක්‍රියාත්මක වෙන්නෙ. මොකද ජන්දය එක පැත්තකට තමයි කොහොමත් වැඩි. ඔතැන දී රට පුරාම දමිළ ජනතාව සුළුතරයක් වුණත් පළාත් 9න් දෙකක ඔවුන් බහුතරයක් ලෙස ඉන්නවා. ඒ නිසා ආණ්ඩු බලය වෙන වෙන පළාත්වලට බෙදලා දුන්නොත් තමයි ඒ අයගේ මතය ජන්දය හරහා ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නෙ. දකුණෙත් ප්‍රශ්න ආවේ එය නැති වුණ නිසා. කොහොමටත් සේරම කොළඹින් කරනවට වඩා ඒ ඒ පළාත්වල ජනතාවට තමන්ගේ මතයට වැඩ කරගන්න එක හොඳයි නේද? මිනිසුන්ගේ ළඟටම ආණ්ඩු බලය ගේන්න ඕන.

දකුණු පළාතටත් ඒ බලතල දෙන්න ඕන කියලද කියන්නෙ?

ඔව්. ජනතාව ආණ්ඩුකරණයට සහභාගීවීම සමීප වීම කොහොමටත් සුදුසුයි.

ජනතාව ආණ්ඩුකරණයට සමීප කිරීම ගැන වර්තමාන සාකච්ඡාව මොන විදිහට ද සිදු වෙන්නෙ?
දැන් අපේ සාකච්ඡාවේ දී පළාත් පාලන ආයතනත් ඇතුළත් කරගෙන තිබෙනවා. දැන් එතකොට අපි කතා කරන්නේ තට්ටු දෙකක් ගැන නෙවෙයි, තට්ටු තුනක් ගැන. එතැනටත් ගෙනියන්න ඕන. පහළ මට්ටමේ දී යමක් කරන්න පුළුවන් නම් ඒ මට්ටමේ දී එය සිදු කළ යුතුයි. එතනින් කරන්න බැරිවෙන වැඩ තමයි ඊළඟ තට්ටුවට ගෙන එන්න ඕන. ඒ කියන්නෙ පළාත් පාලන ආයතනවලටත් වැඩි බලතල ප්‍රමාණයක් දෙන්නයි හදන්නෙ. එවිට ගම් මට්ටමේ ජීවත් වෙන අයට එයාලගේ මතය ප්‍රකාශ කරන්න, තීරණ ගන්න බලය ලැබෙනවා. නැත්නම් වෙන්නෙ කොහෙන් හරි තීරණය කරලා එන දෙයක් ඒ ජනතාවට බාරගන්න වෙන එක.

මෙතැන දී අහවල් අහවල් බලතල විමධ්‍යගත කරන්න, අනෙක් බලතල මධ්‍යම ආණ්ඩුව සතුව තබා ගැනීම ගැටලුවක් නෑ කියලා ඔබට දළ වශයෙන් හෝ පෙන්වා දෙන්න පුළු‍වන්ද?

ඇත්තටම සමහර බල තිබෙනවා බෙදන්න බෑ. ඒවා මධ්‍යම ආණ්ඩුව සතුව තබා ගන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. උදාහරණ ලෙස මුදල් , ආරක්ෂක, විදෙස් සබඳතා, විදුලි සංදේශන ආදී දේවල් මධ්‍යම ආණ්ඩුව සතුව තිබිය යුතුයි. ඒ හැර නැගෙනහිර පළාත සංවර්ධනය කරන්නෙ කොහොමද කියන එක බස්නාහිර පළාත තීරණය කරන්න යන්න ඕන නෑ නේද? ඒක ඒ ඒ පළාත් කරගන්න ඕන නේද? අඩුමගානේ යෝජනාවක් වත් ගේන්න පුළුවන් වෙන්න ඕන නේද? ඒ වගේමයි මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කාරණා. ඒවා ඒ පළාත්වල පළාත් පාලන ආයතන මට්ටමින් කරගන්න පුළුවන් වෙන්න ඕන.

සෞඛ්‍ය, අධ්‍යාපන වගේ ක්ෂේත්‍ර සැලකීමේ දී පළාත් සභා ක්‍රමය යටතේ තියෙන ලැයිස්තු ක්‍රමය නිසා අර්බුද ආවා. මෙතනදීත් එවැනි තත්ත්වයක් මතුවෙන්න ඉඩ තියනවා නේද?

ඔව්. ඒ වගේ ක්ෂේත්‍රවල තත්ත්වයන් සම්බන්ධව මධ්‍යම ආණ්ඩුව තීන්දු ගැනීම ගැටලුවක් නෑ. උදාහරණයකට ගත්තොත් වෛද්‍යවරුන් ලියාපදිංචිය මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කරනවා. අධ්‍යාපනයේ නම් මොන විභාග ද තියෙන්නෙ, මොකක්ද මට්ටම, ඒවා මධ්‍යම ආණ්ඩුව කරාට ගැටලුවක් නෑ. පොඩි පොඩි කාරණාවලට මං හිතන්නෙ පොදු ලැයිස්තු ඕන නෑ. නිකන්ම පොදු ලැයිස්තුවක් ගෙන ඒමත් තේරුමක් නෑ. මෙතැන දී අවශ්‍ය වෙන්නෙ මොන මොන කාරණා සම්බන්ධව ද පොදු ලැයිස්තුව අවශ්‍ය කියන දේ බලන්න ඕන. එහෙම අත්‍යාවශ්‍ය යමකට එවැන්නක් ගෙන ආවත් ඒ මොකක්ද කියන එක බලලා එකඟ වෙන්නත් පුළුවන්.

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සිදුවන සාකච්ඡා තුළ දැනට වඩාත් ගැටලු මතුව තිබෙන කාරණා මොනවද?

මැතිවරණ ක්‍රමය ගැන තමයි පොඩි ප්‍රශ්නයක් මතු වෙලා තියෙන්නෙ. එතැන දී කුඩා පක්ෂවල නියෝජනයක් නැතිව යාම සම්බන්ධව තියන කාරණයට විසඳුම් මේ දිනවල විවිධ ලෙස සාකච්ඡාවට ගෙන සලකා බලමින් තියෙනවා. ඒ වගේම බලය බෙදීමේ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධව කතා කරමින් තියනවා. ඒකීය ද ෆෙඩරල්ද වගේ සංවාද පැවැත්වෙනවා. දැන් සමහරු මතුකරනවා ඒකීය කියන වචනයම තියෙන්න ඕන කියලා. අපි ඇහුවාම ඒකීය කියන දෙයින් අදහස් කරන්නේ මොකක්ද කියලා, එයාලා කියන්නෙ රට බෙදීමක් කරන්නේ නෑ කියන එකලු‍. ඉතින් රට බෙදන්න කියලා අපි කියන්නෙ නෑනේ. මං හිතන්නෙ ඔය වගේ කාරණාවල දී නිකන් ලේබල් ගහගෙන වැඩ කරන්න ඕන නෑ.

උතුරේ ජනතාවගේ නියෝජිතයන් ලෙස ඔබලා හැර තවත් පාර්ශ්ව ඉන්නවා. ඉන් ඇතැම් පාර්ශ්ව කියන්නෙ වෙන්වීමක් අවශ්‍ය බවයි. සමහරු වෙන්වීමේ උවමනාව පෙන්වා දෙනවා. ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද?

එහෙම සුළු කොටසක් ඉන්නවා. කොහොමත් ඔය එක එක විදිහෙ අය ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ පාර්ශ්ව ප්‍රශ්නයක් නොවෙන්නෙ කොහොමද?

දැන් පසුගිය මහමැතිවරණය අරගෙන බලන්න. අපි පැහැදිලිව කිව්වේ එකම රටක් ඇතුළේ ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. අනිත් අය මොකද කිව්වේ වෙන්වීමක් අවශ්‍යයි කියලා. අන්තිමට ජනතාව මොකක්ද පිළිගත්තේ. අර අයට

5%ක් ළංකරලා හෝ ඡන්ද ලැබුණේ යාපනයේ දී විතරයි. සමහර දිස්ත්‍රික්කවල 1%ක් නෑ. ජනතාව ඒ අය කියනදේ පොඞ්ඩක්වත් ගණන් ගත්තෙ නෑ. ඔවුන් එයාලව ප්‍රතික්ෂේප කළා.

බලය බෙදීම කාරණයේ දී මං නැවතත් කියන්නෙ ෆෙඩරල් ද නැද්ද වගේ ලේබල් අවශ්‍ය නෑ. බලය බෙදීමක් අවශ්‍යයි. ඒ දේ නිසියාකාරව සිදු විය යුතුයි. එහෙන් දීලා මෙහෙන් ගන්නවා වගේ බලය බෙදීමෙන් තේරුමක් නෑ.

ඔබලා ඉතා නම්‍යශීලීව මේ කාරණයේ දී කටයුතු කළත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සමහර මැදිහත්වීම් කරන ස්වභාවය ගැටලු මතු කරනවා කිව්වොත් ?

අපි පක්ෂ මට්ටමින් අවවාද කළා. නමුත් නිසි සවන්දීමක් සිදු වුණේ නෑ. ඒත් එතැන අන්තවාදී ප්‍රකාශයක් සිදු වෙලත් නෑ. අපි කියන කතාවම තමයි ප්‍රධාන අමාත්‍යවරයාත් කිව්වේ. නමුත් ජනතාව ගෙනල්ලා පාරට බැහැලා එන පින්තූරය දකුණට එන විදිහ හරි නෑ. මොකද දැන් අපි යම් සාකච්ඡාවක ඉන්නෙ. ඒ වැඩ අවුල් කරගන්න ඕන නෑ. අන්තිමට දකුණේ ප්‍රතිචාරයෙන් එළියට ආවේ අපි කියපු දේ හරි කියන එකයි. අපි උතුරට ගිහින් ඒක කිව්වා.

දහදාහක් වගේ ජනතාවක් එතැනට ආවා. ඒ මිනිස්සු එන්නෙ ප්‍රශ්න තියන නිසා. ඉඩම් ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය විසඳෙමින් තිබුණත් ප්‍රමාදයක් තියෙනවා. ඒ ප්‍රමාදයට තියෙන විරෝධය තමයි ජනතාව හරහා එළියට ආවේ. දැන් ඒ ජනතාවත් පිළිගන්නවා ටීඑන්ඒ එක කිව්වා හරි කියන එක.

නමුත් උතුරේ වැසියන්ට රැකියා, නිවාස, ඉඩම් වගේ නොවිසඳුන ප්‍රශ්න රැසක් තියනවා. මධ්‍යම ආණ්ඩුව ඒවා විසඳන්න තවමත් වැඩපිළිවෙළක් ඇතුව මැදිහත් වෙන බවක් පේන්න නෑ. ඒ පසුබිමේ ඔබලා කොහොමද මේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් සහාය දෙන්න කියලා ඔවුන්ට කියන්නෙ?

ඒ ප්‍රශ්නය අපිට තියනවා. මිනිස්සු අපෙනුත් අහනවා. අපිත් හැමදාම ආණ්ඩුවට කියනවා මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකවත් කඩිනමින් විසඳන්න කියලා. කොහොමත් ජාතික ආණ්ඩුවේ වැඩවල වේගයේ අඩුවක් තියෙනවා.

ඇත්තටම 2010 ඉඳලා හැම මැතිවරණයකදීම 70% වඩා ජනතාව පිළිගත්තේ අපි කියන දේ. ඒ තුළ අපි පිළිගත හැකි හොඳ විසඳුමක් රැගෙන ජනතාව වෙත ගියොත් 90% වඩා අපට සහාය දෙනවා.

විදෙස් ගත වූ දමිළ ජනතාව වෙතින් ඔබලාගේ කටයුතුවලට බලපෑමක් වෙන්නෙ නැද්ද?

ඇත්ත බලපෑමක් තියනවා. සමහරු සෘජුවම කිව්වා අපිට ඡන්දේ දෙන්න එපා කියලා. මොකද ඔවුන් තමයි මේ ජනතාවට සල්ලි එවන්නෙ. නමුත් ජනතාව ඡන්දේ දෙන්නෙ අපිට. ඔවුන්ට අපි ගැන විශ්වාසයක් තියෙනවා.

දකුණේ ඇතැම් පාර්ශ්ව බියක් පතුරවනවා බලය බෙදීම කියන්නෙ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමේ එක් පියවරක් කියලා. අඩුම ගාණේ සිංහල ජනතාවට ඒ පැත්තට යන්නවත් ලැබෙන්නෙ නෑ, ව්‍යාපාරයක්වත් කරන්න බැරිවෙයි කියලා කියනවා. ඒ ගැන මොකද කියන්නේ?

ඔතැන තියෙන්නෙ විශ්වාසය ගැන ප්‍රශ්නයක්. මං එක උදාහරණයක් කියන්නම්. ගාල්ලේ කරාපිටිය රෝහලේ පිළිකා රෝහලක් සෑදීම වෙනුවෙන් ආධාර එකතු කරනවනේ උතුරේ ඉඳලා පාගමනක් හරහා. පේදුරු තුඩුවෙන් ආරම්භ වූ පළවෙනි දවසට මමත් ගියා. එදා රුපියල් මිලියනයකට වඩා සල්ලි එකතු වුණා. එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලක්ෂ 4ක් එකතු කරලා දුන්නා ගම්වලින්. ඒ මොකටද ගාල්ලේ රෝහලක් හදන්න. දැන් හොයලා බලන්න අලිමංකඩ පසු කරන්න කලින් බලාපොරොත්තු වූ මුදලින් කොච්චර එකතු කරගෙන ද කියලා. ඒ ජනතාව දුප්පත්. ඒත් රට වෙනුවෙන් කරන්න තියන දේට හැකි උපරිමෙන් දායක වෙනවා.

විශ්වාසය කැඩිලා නම් අපි එය ඇති කරන්නයි ඕන. ඒ වෙනුවෙන් තමයි අපිත් මේ මහන්සි වෙන්නෙ. කවදාවත් රටක් ෆෙඩරල් වුණා කියලා වෙන රටවල් හැදිලා නෑ. මං කියන්නෙ බිය පැත්තකින් තියන්න. උතුරේ ද දකුණේ ද කියලා වෙනසක් නැතුව බොහෝ ප්‍රශ්න මේ හරහා විසඳා ගන්න පුළුවන්.

සාකච්ඡාව: සුභාෂ් ජයවර්ධන/සංජය ලියනගේ

මූලාශ්‍රය – සත්හඬ

Back to Top