Sri Lanka Brief
විශ්ලේෂනදුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

දුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

by

නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්. – සුනන්ද දේශප්‍රිය.

ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත.මේ නිසා අධිකරණය මරණ දණ්ඩනය පැනවීම දිගටම කරගෙන යයි. මරණ දඩණ්ඩනයට නියම වූ සිරකරුවන් සාමාන්‍ය සිරකරුවන් සමඟ රඳවා නොතබන අතර ඔවුන් වෙනුවෙන් වෙන් වූ විශේෂ කුටි තිබේ. බන්ධනාගාර භාෂාවෙන් ඒවාට කියන්නේ මරණයේ කුටි ( death row) කියාය.

සිරකරුවන්ගේ අයිතින් ගැන මැදිහත්වන සහ ඔවුන් අරභයා සුභසාධන වැඩසටහන් පවත්වාගෙන යන මහනුවර නන්දන මනතුංග පියතුමා සමඟ සංවාදයකින් මෙම සටහන සකස් කරන ලදී. ඔහු මහනුවර මානව හිමිකම් කාර්යාලය නම රාජ්‍ය නොවන සංවිධානයෙ ප්‍රධානියා ය.

සිරකරුවන්ද මනුෂයෝය කියනව තමයි ඒ වුනාට ලංකාවේ හිරගෙවල්වල තත්වය තියෙන්නෙ මනුෂ්‍යත්වයට නොගැලපෙන හරිම කණගාටුදායක තත්වයක්. විශේෂයෙන්ම මට කියන්න පුළුවන් බෝගම්බර හිරගෙදර වෙනුවට හැදූ දුම්බර හිරගෙදර අද තත්වය ගැන.

බෝගම්බර හිරගෙදර මහල් හදල තිබුණේ දැව වලින්. ඒවගේම වාතාශ්‍රය හොදට තිබුණ. ඇති තරම් වතුර ගන්න හොඳ ජල උල්පතක් ඇතුළෙම තිබුණ. සිරකරුවන්ට වතුරවලින් ප්‍රශ්ණයක් තිබුණේ නැහැ. නිලධාරී නිවස්න හොඳට තිබුණ.

දැන් මේ දුම්බර හිරගෙදර මාසික ජල බිල ලක්ෂ 13ක් විතරලු. මුදල් ගෙවා ගන්න බැරිව පහුගිය කාලේ එක්කො වතුර දුන්නේ එක වරුවයි, එහෙමත් නැති දවස් වල එක් සිරකරුවෙකුට/ රැඳවුම්කරුවකුට ලැබුණේ දවසටම වතුර බාල්දියයි.ඒ බීමට හැර අනෙක් හැම අවශ්‍යතාවයකටම,

බෝගම්බර හිරගෙදර රාජපක්ෂ පාලනය කාලයේ, ඒ කියන්නේ 2014 ජනවාරියෙ දුම්බරට ගෙනිච්චේ පුදුම හදිස්සියකින්. දුම්බර හිරගෙදර හදල ඉවර වෙන්නත් කලින් තමයි බෝගම්බර වැහුවේ.කතාවක් තිබුණ නිදන් ගන්න හිරගෙදර හෑරුව කියලත්. ඒ කොහොම උණත් අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තවම බෝගම්බර හිර ගෙදර කිසිම ප්‍රයෝජනයකට අරං නැහැ.  මේ ආණ්ඩුව කියන්නේ එතැන හෝටලක් හදන්න දෙවා කියළයි. මහනුවර මිනිස්සුන්ට ප්‍රයෝජනවත් නගරයේ සෞඛ්‍යට වැඩදායක දෙයක් මේ බිමේ කරන්න තිබුණා.

ස්ත්‍රී සිරකාරියන් සිටි රජවිදියේ හිරගෙදරත් වැහුව. ඒකෙ හිටපු ස්ත්‍රීන් රටපුරා බෙදල ඇරිය. නුවර නඩු තියෙන සිරකාරියන් දැන් ඉන්නේ වෙලාවකට බදුල්ලේ හිර ගෙදර.

අප දුම්බර සිරගෙදර උපදේශණ සහ කලා පන්ති වගේ දේ පවත්වනවා. රාජපක්ෂ කාලයේ අපට සිරකරු සුභසාධනය සඳහා බෝගම්බරට යන්න අවසර දුන්නෙම නැති තරම්. මේ ආණ්ඩුව දිනපතාම එවැනි සේවාවන් සදහා යන්න අපට අවසර දීල තියෙනවා. පසුගියදා ප්‍රසිද්ධියට පත් වනු සිරකරු – නීති ශිෂ්‍ය විවාදය අපට සංවිධානය කරන්න පුළුවන් වුනෙත් ඒ නිසා. නමුත් මේ සුභ සාධන කාර්යන් සඳහා තියෙන්නේ ටකරං මඩුවක්. බෝගම්බර හොදින් පහසුකම් තිබුණූ ශාලා ගණනාවක්ම තිබුණ.

බෝගම්බර සිරගෙදර අතුලත දර්ශණයක්

බෝගම්බර සිරගෙදර අතුලත දර්ශණයක්

බෝගම්බර හිරගෙදර හැම ආගමක්ම අදහන්න පූජනීය ස්ථාන තිබුණා. දුම්බර හිරගෙදර ඒ කිසිම පහසුකමක් නෑ. ළඟදී බුද්ධ පිළිමයක් නම් ගෙනැල්ල ඉස්සරහින්ම තියල තියෙනවා.

බ්‍රිතාන්‍යයින් බෝගම්බර හිරගෙදර හදල තිබුණේ සිරකරුවන්ගේ සෞඛ්‍ය පුනරුත්ථාපනය යන දෙකම ගැන හිතලා.

දුම්බර හදපු හිරගෙදර තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක්. උඩත් කොන්ක්‍රීට් යටත් කොන්ක්‍රිට්. එකේ රශ්නය උහුලන්න බැහැ. ඒ නිසාම දුම්බර හිරගෙදර ඇරලා පළමු සති දෙක ඇතුළේ  සිරකරුවන් හය දෙනෙක් මැරිල තියෙනව.
දුම්බර හිරගෙදර හදල තියෙන්නේ නගරයෙන් හුඟක් දුර. නුවර ඉඳළ පල්ලෙකැලේට ගිහින් කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙනව. මේ දුරස්තර බව නිසා හදිසි රෝගියකුට ප්‍රතිකාර දෙන්න නුවරට අරං යන්න සැහෙන වෙලාවක් යනව. මේ නිසාම පසුගිය කාලය තුළ ප්‍රතිකාර සඳහා ගෙනයෑමේදී  සිරකරුවන් අට දෙනෙක් මැරිල තියෙනව. හිරගෙදරට අනුයුක්ත වෛද්‍යවරු 11 දෙනෙක් ඉන්නව. නමුත් හදිසි අමාරු රෝගියකුට ප්‍රතිකාර කරන්න පහසුකම් දුම්බර හිරගෙදර නැහැ.

බෝගම්බර හිරගෙදර ඉදළ මහනුවර මහ රෝහලට තිබුණේ විනාඩි තුනක දුර. උසාවියත් ළඟමයි තිබුණේ. මේ නිසා සිරකරුවන් බලන්න එන අයටත් අධිකරණයට ඉදිරිපත් කරන්නත් ලොකු පහසුවක් තිබුණ. ලංකාව පුරාම බ්‍රිතාන්‍යයින් හිර ගෙවල් හදල තියෙන්නේ ඒ විදියට.

දුම්බර හිරගෙදර සිරකරුවන් 1,400ක් විතර ඉන්නවා. ඒ අතුරින් ඉතාම දුෂ්කර තත්වයක ඉන්නෙ  මරණිය දණ්ඩනය ලැබූ සිරකරුවන්. ඔවුන් රඳවා තිබෙන තත්වය අන්තිම නරකයි. එහි ඉන්නවා මරණිය දණ්ඩනයට නියම කරපු සිරකරුවන් 250ක්. ඔවුන් රඳවා තිබෙන කුටියක් ප්‍රමාණවත් වෙන්නේත් නීතියෙන් රඳවා තැබීමට අවසර තියෙන්නේත්  එක් සිරකරුවකුටයි. විශේෂ තත්වයක් යටතේ දෙදෙනෙකු රඳවා තැබිමට අවකාශය තියෙනවා.
නමුත් දැන් මේ අඩි 10 X 8 තරමේ කුටියක එවැනි සිරකරුවන් 25 – 40ත් අතර ප්‍රමාණයක්  රඳවා තිබෙනවා. බෝගම්බර- දුම්බර බන්ධනාගාරය යැයි නම් කර ඇති මේ හිරගෙදර එවැනි මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් 250ක් පමණ ඉන්නවා. නමුත් තිබෙන කුටි ප්‍රමාණය 10කටත් අඩුයි. ඊට අමතරව දිගටම විනිශ්චයකාරවරුන් මරණ දඩුවම නියම කරනවා. මෑතදී නුවරඑළියේ එකම නඩුවකට 9 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරුණා.

මරණිය දණ්ඩනය ලැබූ  සිරකරුවෙක් දවසට කුටියෙන් එළියට ගන්න අවසර තියෙන්නේ  පැයකට විතරයි. ඉතිරි පැය 23ම ඉන්න ඕනේ හිතන්න බැරි තරම් තදබද වෙලා. ඔවුන් මේ කුටිවල ඉන්නේ වාඩිවෙලා. ඇලවෙලා නිදා ගන්න ඉඩක් නැහැ. හිටගෙන ඇවිදින්න ඉඩක් ඇත්තේම නැහැ. රාත්‍රියට වැසිකිළි යාමට එළියට ගියොත් එනකොට වාඩිවෙලා ඉන්න තැන නැති වෙනවා. ඒ නිසා මේ හැමෝම වගේ වැසිකිළි යන්නේ පොලිතීන් බැග්වලට.
මේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් සමහරෙක් කියන්නේ එක්කො අපට දඩුවම දෙන්න, නැත්නම් ජීවිතාන්තය දක්වා ලිහිල් කරන්න කියලයි. දැන් වෙන්නේ මේ සිරකරුවන් නොමරා මරණ එක.

මරණ දඩුවම නිකම්ම ජීවිතාන්තය දක්වා දඩුවමක් බවට පත් වෙන්නෙ නැහැ. ඒකට ඉල්ලීමක් කරන්න ඕනේ ජනාධිපතිතුමාට. අප මේ දවස්වල එවැනි සිරකරුවන්ගේ පවුල්වල අය එක්ක ඒ සඳහා වැඩ කරමිනුයි ඉන්නෙ.
සාමාන්‍ය දඩුවම් ලබන සිරකරුවකුට නීතිය අනුව නැති වෙන්නේ සමාජය සමඟ තිබෙන සම්බන්ධතාවයයි බැහැර යාමේ නිදහසයි විතරයි. දැන් හැම සිරකරුවකුටම වගේ ජංගම දුරකථනයක් තියෙනවා. නැත්නම් දුරකථන පණිවිඩ ගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ සමාජය එකක් සබඳතාවය තියෙනවා එක විදිහකට. නමුත් තිබිය යුතු අනෙක් මානව අයිතීන් නැහැ.

පේන විදිහට ආණ්ඩුවට සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහනක් නැහැ. ඒ වගේම අපේ සමාජය හිතන්නේත් හිරේ ගියානම් උන්ට කිසිම අයිතියක් දෙන්න ඹ්න නැහැ කියළයි. ඒ නිසාම හිරේ ගිය කෙනෙක් හුඟක් වෙලාවට නිවැරදි වෙනව වෙනුවට තවත් දරුණූ වෙනඑක‍.
–    සටහන සහ ජායාරූප සුනන්ද දේශප්‍රිය විසිනි.

Back to Top