Sri Lanka Brief
පිළිසදර‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

by

(ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව)

ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්.
සුනන්ද දේශප්‍රිය විසිනි.

එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට ගොදුරුවී පසුගිය සතියට වසරක් පිරුණි. ‘තියුණූ අසිපතක සෙවන යට’ නමින් සිය ජීවිත අත්දැකීම ලියා තැබූ ඇය මිය ගියේ  2015 ඔක්තොම්බර් මාසයේදි ය. 2009 මැයි මාසයේදී හමුදාවට බාරවූ ඇය 2013 පූනි මාසයේදී පන්තොට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් නිදහස් කෙරුණි. අනතුරුව ඇය විවාහ වූ ජෙයකුමාරන් මහාදේවන් සමඟ  පැවැති පිළිසඳරක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදි.

තමිලිනී වයස 19දී උසස් පෙළ අධ්‍යාපනය වෙනුවට  එල්ටිටිඊය තෝර ගත්තේ කැමැත්තෙන්. ඇය සංවිධානයේ සාමාජිකාවක්වීම ගැන කවදාවත් දුක්වුණේ නැහැ. ඒ අවස්ථාවේ සමාජය ගැන කැක්කුමක් තිබූ එවැනි තරුණ තරුණියන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඒ පරම්පරාවට යුද්දය ඉවර වෙලා අව්රුදු පහක් ගිහිල්ලත් විසදුමක් ලැබිල නැහැ.

%e0%b6%a2%e0%b7%99%e0%b6%ba%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a

ජෙයකුමාරන් මහාදේවන්: එදත් අදත් දෙමළ ජනයා පාලනය කැරෙන්නේ බිය ගැන්වීමෙන්

මෙහේ ඒ කියන්නේ කිළිනොච්චියේ නිවෙසක් හැර නිවෙසකම වාගේ හිටපු එල්ටීටීඊ සාමාජික සාමජිකාවන් ඉන්නවා. මේ හැම අයෙකුගේම  ජංගම දුර කථන අංකය පොලිස් සහ යුද හමුදා බුද්ධි අංශ අතේ තියෙනවා. රාජපක්ෂ පාලන කාලයේ හැම මාසකම ඔවුන්ට බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ගේ දුරකතනයන්ට කතා කරමින් තොරතුරු අහුවා. කොච්චරද කියනව නම් මේ ආණ්ඩුව යටතෙත්  තමිලිනීගේ අවමඟුල දවසේ එ කියන්නේ 2015 ඔක්තෝම්බර් මාසෙ  ඇයගේ සහෝදරයාටත් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් දුරකථන ඇමතුම් ආව‍. ඔවුන්ට දැන ගන්න ඕන වුනා කව්ද දේශපාලනඥයින් ඇවිල්ල ඉන්නේ, වෙන කව්ද ඉන්නේ කියලා.

කිළිනොච්චියෙත් මුලතිව්වලත් ඉහළ යුදහමුදා සංකේන්ද්‍රණයක් තියෙනවා. සමහර කඳවුරු අක්කර 1000ක් තරම්. සතියකට පාරක් වගේ  පාපැදිවල නැඟුනු සොල්දාදු පිරිස් හැම ගමකම වගේ රාත්‍රි සංචාරයන්හි නිරත වෙනවා. මෙ ගමටත් ඔවුන් නිරන්තරයෙන් එනවා. රාජපක්ෂ පාලන කාලයේදි හැම දවසකම වාගේ රාත්‍රී මුර සංචාරයන්හි යෙදුණා.

මට නම් බුද්ධි අංශ කතා කරලා විස්තර අහලා නැහැ. මං පාවිච්චි කරන්නේ තමිලිනීගේ ජංගම දුරකතනය. මට දැනෙනවා මේ දුරකථනයට බුද්ධි අංශ සවන් දෙනවා ඇති කියළ. දන්න කෙනෙක් මට කිව්වා ‘ඔය දුරකතනය ටැප් කරලයි තියෙන්නේ’ කියලා. දැන් මං මේ දුරකථනය නැත්නම් සිම් කාඩ් පත අයින් කරල වෙන එකක් ගත්තොත් බුද්ධි අංශ ඒ ගැනත් සැක කරන්න පුළුවන්. අප හරියට ගිරයට අහුවුණ පුවත් ගෙඩි වගේ.

මං බෙදුම්වාදියෙක් නොවෙයි. පුවත්පත් සාකච්ජාවලදි මං මගේ අදහස් කියළ තියෙනවා. සමහරෙක් කියන්නේ ‘තියුණූ අසිපතක සෙවන යට’ ලිව්වේ තමිලිනී නොවෙයි මං කියළයි. ‍ඇගේ සමහර මිතුරියන් පවා මට කියළ තියෙනවා තමිලිනී මේ වගේ පොතක් ලියන කෙනෙක් නොවෙයි කියළ. මා ඔවුන්ට කිව්වේ ඔවුන් දන්නා තමිලිනී හිටියෙ සංවිධානය ඇතුලේ. නමුත් අත් අඩංඟුවට පත්වීම සහ අත්අඩංඟුවේ සිටි කාලයේ ඇය පරාජයට හේතුව කල්පනා කරන්න පටන් ගත්තා; වෙනස ඇතිවුනේ එතැනදි බවයි. හුදකලාව සිටියදී ඇයට ඇතිවූ වෙනස සමහර දෙනාට තේරුම් ගන්න අමාරුයි.

සිය ජිවිත කතාව ලිවීඹ ඇයට මානසික අස්වැසිල්ලක් ගෙනාව

සිය ජිවිත කතාව ලිවීම ඇයට මානසික අස්වැසිල්ලක් ගෙනාව

තමිලිනීගෙ පොතටත් ඒ නිසා මටත් ඩයස්පොරාවෙ ඉන්න උග්‍ර  බෙදුම්වාදී දෙමළ පිරිස් ගහරනවා, නමුත් මෙරට දෙමළ ජනයා පොත මිලදී ගනිමිනුයි ඉන්නේ. ලංකාව ඇතුලෙ දෙමළ පොත පිටපත් 1,500ක් පමණ විකිණිලා තියෙනවා. ඒක සාපෙක්ෂව ලොකු ගාණක්. පසුගියදා පැවැති දකුණූ ඉන්දියාවෙ චෙන්නායි පොත් ප්‍රදර්ශණයේ වැඩිම අළෙවිය ලැබුනේ තමිලිනීගෙ පොතට.

ඇත්තටම ජීවිත අත්දැකීම පොතක් විදිහට ලියන්න කියළ තමිලිනි උනන්දු කරේ මං. පොතක් ලියන්න ඇයට අදහසක් තිබුණා. මේ අතර  ඇයට යුද්ධ කාලීන දරුණු මතකයන් වධ දෙන්න පටන් අරං තිබුණ.  නින්ද යන්නේ නැතිව තිබුණ. නිදි පෙති ගන්න ඕන වෙලා තිබුණ. නමුත් පොත ලියන්න පටන් ගත්තට පසසේ ඇයට පැය දෙකක් පරිගණකයේ පොත ලියල  නිදි පෙති නැතිව නිදා ගන්න පුළුවන් වුණා. සිය ජිවිත අත්දැකීම ලිවීම ඇයට මානසික ප්‍රතිකාරයක් බවට පත වුණා.සංවිධානයේ සිටියදී තමයි ඇය ස්වෝත්සාහයෙන්ම පරිඝණක භාවිතය පවා ඉගෙන ගෙන තිබුණේ.

ඇය සිය ජිවිත අත්දැකීම ලිව්වේ කාටවත් ගරහන්න නොවෙයි. ඇයට ඕන වුණා තමන්ගේ අත්දැකීම බෙදා ගන්න. ඇය දුටු යුද්දයේ ඇත්ත ලෝකයට කියන්න. ඇයට ලොකු වේදනාවක් තිබුන යුද්ද අත්දැකීම ගැන. නමුත් ජීවිත කතාව ලිවීම නිසා ඇයට චෝදනා එන්න පුළුවන් බව ඇය දැනගෙන හිටියා. ඒත් ඇත්ත ලියන්න ඕන කියළ ඇයට තදබල හැඟීමක් තිබුණ. ඇත්තටම නම් ඇගේ අපේක්ෂාව වුනේ තව පොත් කිහිපයක් ලියන්න. ඇයට තිබුණූ මතක ශක්තිය අනුව හොඳ ලේඛිකාවක් වෙන්න වාසනාව තිබුණා අවාසනාවන්ත මරණයකට ගොදුරු වුණේ නැත්නම්.

යුද්ධ පිඩාවට පත් දරුවන්ට උදව් කරන්න තමිලිනීට අපේක්ෂාවක් තිබුණ. මං දැන් එවැනි මාපියන් නැති දරුවන්ගේ පාසැලකට උදව් කරමිනුයි ඉන්නේ. යුද්ධයෙන් මාපියන් නැතිවූ දරුවන් 45ක් එහි ඉගෙන ගන්නවා. බසයට ගෙවීමට රුපියල් පහක් නැති නිසා කිලෝමීටර පහ හයක් පයින්ම එන දරුවන් එහි ඉන්නවා. මේ දරුවන්ට බසයක් දාන්න පුළුවන්ද කියා මං මෙහි වැඩ කරන ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයකින් ඇහුවත් ඔවුන්ට සම්පත් නැහැ. ලංඩනයේ තිබෙන ‘ඥානවන්තව හිතන්න’ (Think 2 wise) නම් කුඩා සංවිධානයක් මේ දරුවන්ට පා පැදි දහයක් සඳහා මුදල් එවීමට කැමැත්ත පළකර තිබෙනවා.

එවැනි උත්සාහයන්ට දෙන්න ආණ්ඩුවට මුදල් නෑලු. එත් නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිවරයා කිලිනොච්චියට ආවෙත් හෙලිකොප්ටරයකින්. ඒවට නම් මුදල්වලින් අඩුවක් නෑ.

කිලිනොච්චියේ නම් අධ්‍යාපන පහසුකම් තියෙනවා. නමුත් පුද්කුඩිඉරිප්පු හරි ඔඩ්ඩුසුඩාන් හරි වගේ පැතිවල විද්‍යාව සහ ගණිතය උගන්වන්න ගුරුවරු හිඟයි. ඔවුන් එන්න ඕනෙ යාපනයෙන්. කව්රුත් කැමැති නෑ ඒ වගේ දුෂ්කර පළාත්වල සේවයට එන්න. එහෙම එන ගුරුවරු පවා සඳුදා උදේ ඇවිත් සිකුරාදා හවස වෙනකම් බලන් ඉන්නේ ගෙදර යන්න. ගණිතය අසමත් නම් සාමන්‍ය පෙළ අසමත්නෙ. මං මේ දරුවන්ගේ පාසළට ස්වේජ්චාවෙන් ගණිතය උගන්වන්න කෙනෙක් සොයා ගත්ත. ඔහුගේ වියදමට රුපියල් 5000ක් විතරක් මං දෙනව.

යුද්ධයට ගිය තමිලිනී පරම්පරාව වගේම යුද්ධයෙන් පිඩාවට පත් ඊළඟ පරම්පරාව ගැනත් හරි තැකීමක් හෝ බැලීමක් හෝ නැති එක හරිම කනගාටුවක්. ඒ වගේම දෙමළ සමාජය ඇතුළෙම මේ අසරණ දරුවන් විවිධ අසාධාරණයන්ට ලක් වෙනවා. පැතිරෙමින් යන ළමා ලිංගික හිංසනය දැන් මහ උවදුරක්. රුකවරණයක් නැති දරුවන් ලිංගික අපයෝජනය කිරීම් ගැන බොහෝ වාර්තා තියෙනවා.

හිටපු එල්ටීටීඊ සටන්කරුවන් සහ සටන්කාරියන් සමාජ ආර්ථික ගැටළුවලට මුහුණ දෙනවා. පොදුවේ ඔවුන්ගේ තත්වය ඛේදනීයයි. ඩයස්පෝරා පිරිස් යම් යම් නිර්නායකයන් යටතේ සමහර විට ඥාතිත්වය නැත්නම් තනිව ජීවත්වන හිටපු සටන්කාරියන් වගේ තෝරා ගත් අයට උදව් කරනවා. මා දන්නා තරමින් මාසයකට රුපියල් 20,000 වගේ දෙනවා.  නමුත් මාසයක් ජීවත්වෙන්න ඒ ගාණ මදිනෙ. මීට වඩා ක්‍රමවත්ව සහාය දෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ. නමුත් අනෙක් අතට  විදේශගතව ජිවත්වෙන හිටපු එල්ටිටීඊ ප්‍රධානීන් විශාල මුදල් ප්‍රමාණයක් එකතුකරගෙන ඉන්නවා. නමුත් ඒ මුදල් මෙරට සිටින හිටපු සටන්කරුවන්ට ලැබෙන්නේ නැහැ.

එල්ටීටීඊ අණ දෙන මට්ටමේ සිටි සටන්කරුවන් පවා දැන් පොල්වතුවල දවසට රු. 1000 පඩියට වැඩ කරනවා. පලෙයි දිහාවෙ දකුණේ ව්‍යාපාරිකයින් ඉඩම් මිලට අරන් විශාල පොල්වතු ආරම්භ කරමින් තියෙනවා. ඒවයේ තමයි වැඩ කාණු කපන්න වගේ වැඩ තියෙන්නේ.

මාසික මුදල් දීමට වඩා අවශ්‍ය කරන්නේ දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් හදන එකයි. මා දන්නා එක් හිටපු සටන්කාරියක් කිව්වා අප ආණ්ඩුව එක්ක සටන් කරපු නිසා හැම දෙයක්ම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ කියළා. එහෙමයි සමහරු හිතන්නේ. තවත් අය අමාරුවෙන් ජිවනෝපායන් සොයාගෙන තියෙනවා. මේ ලඟ ඉන්න හිටපු සටන් කරුවෙක් පුනරුත්ථාපනයෙන් පස්සේ පොලේ පොල් විකුණවා. එකෙන් ආදායමක් තිබුණේ නැහැ. ඊට පස්සේ දවසට රු 700 කුළියට මේසන් කෙනෙක්  ළඟ වැඩට ගියා. පස්සේ ටික තමන්ම වැඩ බාර අරගෙන කරන්න පටන්ගත්තා. ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ ටික දෙනෙකුටයි.

දේශපාලනඥයොයි දෙමළ ජනමාධ්‍යයි කරන්නේත් මේ ජනයගේ ඇත්ත ප්‍රශ්ණ වෙනුවට හැගීම් බර කතා දෙන එක. දැන් බලන්න අත් අඩංඟුවට පත්වූ එල්ටීටීඊ සටන්කරුවන්ට විශ එනන්නතක් දුන්නයි කියන කතාව. තමිලිනී මළෙත් ඒ නිසා කියළයි ඔවුන් කියන්නේ. නමුත් ඇය සංවිධානයේ සිටියදී දිර්ඝ කාලයක් සැර වේදනා නාශක අරගෙන තිබුණා. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු ඒ බෙහෙත නිසා සමහර විට පිළිකා හැදෙන්න ඉඩ තියෙන බවයි කිව්වේ. ඇයට නම් ඔය කියන එන්නත් දීලා තිබුණේ නැහැ. මා දන්න බොහෝ හිටපු එල්ටීටීඊ පිරිස් ඔය කතාව පිළිගන්නේ නෑ. නමුත් මහඇමැතිගේ සිට ජනමාධ්‍ය දක්වා ඒක කියන කොට සමාජයම බය වෙනවා. බය වෙච්ච සමාජය පාලනය කරන්න ලේසියි. එල්ටීටීඊය කරෙත් එක. රාජපක්ෂ පාලනය කරේත් ඒක. අවාසනාවට දැන් වෙන්නෙත් ඒක.  තමිලිනීලාගේ පරම්පරාවට ඉවර වුණේ සන්නද්ධ යුද්ධය විතරයි. දැන් ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා.

Back to Top