Sri Lanka Brief
විශ්ලේෂනතනිකඩ මවකගේ කතාවක්

තනිකඩ මවකගේ කතාවක්

by

2012/13 නිවාස හා ආදායම් වියදම් සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 1.2ක් අතරින් 23%ක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි.  ඔවුන් අතරින් 50%ක් වැන්දඹුවන් වන අතර 4%ක්  කිසිදු විවාහයකට ඇතුළත් නො වූ අයයි. යුද්ධයෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් 90,000ක් වැන්දඹු වී ඇත. එහෙත්, සිය සැමියන් මිය ගිය බව ඔප්පු කිරීම සඳහා මරණ සහතික ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති තවත් කාන්තාවන් විශාල පිරිසක් ද මෙම සංඛ්‍යාවට එකතු විය යුතු ය. (මූලාශ්‍ර‍ය: Mapping of Socio-Economic Support Services to Female Headed Households in the Northern Province of Sri Lanka)

ෂෙරී කොළඹ ජීවත් වන තනිකඩ මවකි. තුරුණු වියේදී ම දික්කසාද වූ ඇය සිය පුතු සමග තනිව මවක් ලෙස ජීවත් වෙද්දී අත්විඳි තත්වයන් කෙරෙහි ඇගේ සංවේදී අදහස් දැක්වීම ඇගේ වචනවලින් ම මෙසේ ය. පහත පළ වන්නේ එහි පරිවර්තිත සාරාංශයකි.

තනිකඩ කාන්තාවන් වර්ග කීපයකට අයත් වෙනවා. ඔවුන් විවාහ නො වූ, වැන්දඹු, දික්කසාද හෝ පවුලෙන් වෙන් ව ජීවත් වන අය  හෝ විය හැකියි.  ඔවුන්ගෙන් ඇතැමෙක් ගෘහ මූලිකයන් ද වෙනවා. ඔවුන් කාගෙන්වත් යැපෙන්නේ නැතිව තනිව ජීවත් වන අයයි. සමාජය දැන්, දැන් එවැනි කාන්තාවන්ට වැඩි පිළිගැනීමක් ලබා දෙනවා. ඒත්, එය සිදු වන්නේ ඉතා සෙමිනුයි. මේ කාන්තාවන් දැනටත් මුහුණ දෙන තත්වයන් වේදනාකාරීයි.

තනිකඩ කාන්තාවන් ගණන් නො ගෙන, පසුපසට තල්ලු කර දැමීම සමාජයේ සුලබව සිදු වන දෙයක්.  අවිවාහකව සිටීම අවාසනාවක් ලෙස සැලකීමත්, දික්කසාදය කාන්තාවකගේ වරදක් නිසා සිදු වන දෙයක් ලෙස සැලකීමත් ඉතා සුලබයි. හොඳ ගැහැනියක නම් දික්කසාද වන්නේ නැති ය කියායි සමාජය සලකන්නේ. දික්කසාද වූ කාන්තාවකට තමන්ට ලැබිය යුතු වන්දි, දේපල ආදිය ලබා ගැනීමත් පහසු නැහැ.

දරුවන් නො ලැබුණු ගැහැනුන් ‘වඳ’ ගැහැනුන් ලෙස අවමානයට ලක් වෙනවා. ඇතැම් විට, දික්කසාදයට හේතු වෙන්නේත් එම කාරණයයි. දරුවන් නොමැති විවාහක කාන්තාවන් ද තනි වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

තුරුණු වියේදී ම දික්කසාද වූ තනිකඩ මවක් ලෙස මා මේ දුෂ්කරතා විඳ දරා ගත්තා. මම කොච්චර අනාරක්ෂිත වෙනවා ද කියන එක මට තේරුණා. හතට කලින් ගෙදර එන්නට ඕනැ. උදේ හයට කලින් ගෙදරින් පිටවෙන්නට බැහැ. පිරිමි මිතුරකුට ගෙදරට ආරාධනා කළොත් බලන්නේ වපර ඇහිනුයි.

කාමරයක්, ගෙයක් කුලියට ගන්නා එක වුණත් ලොකු ප්‍ර‍ශ්නයක්. ගෙවල් කුලියට දෙන අය සියල්ල හාරා අවුස්සනවා. ඇතැම් නිවෙස් හිමියන් “ආරක්ෂාව” සැපයීම ගැන ඕනෑවට වඩා උනන්දුයි. වංහුන් හොයනවා. එබිකම් කරනවා. අප ඔවුන් පසු කර ගිය ගමන් විවිධ කයිකතන්දර කියනවා.

බොහෝ අය නරක කසාදවල දිගට ම රැඳි ඉන්නේ මෙවැනි තත්වයන් නිසා විය හැකියි.

මගේ දරුවා මුලින් උගත් කොළඹ ප්‍ර‍සිද්ධ පිරිමි පාසලකදී ඔහු අප්පා නැති පුතා ලෙස විදුහල්පතිවරයා ප්‍ර‍සිද්ධියේ ම හැඳින්වූවා. අවුරුදු ගණනක් ම කඳුළු හෙළූ මම අවසානයේදී දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔහු එම පාසලින් අස් කරගෙන පෞද්ගලික පාසලකට ඇතුළත් කළා.

ප්‍ර‍ශ්නයකදී පැමිණිලි කරන්නට පොලිසියට ගිය විට පිරිමි පොලිස් නිලධාරීන් අප දෙස බලන්නේ නිරුවතින් සිටින ගැහැනියක දෙස බලන විදියටයි. කාන්තා පොලිස් නිලධාරීන් වැදගත් වන්නේ එවිටයි.

තනිකඩ කාන්තාවන් පන්සලකට, පල්ලියකට ගියත් අපහසුතාවට ලක් වන විදියේ ප්‍ර‍තිචාරවලට ලක් වෙනවා.

තනිකඩ කාන්තාවන් පීඩාවට පත් කරන්නේ පිරිමින් විතරක් නොවෙයි. ඒ දේ කරන කාන්තාවෝ ද රැසක් ඉන්නවා. එහිදී ඇතැමෙක් තමන් ගත කරන අවාසනාවන්ත පීඩාකාරී විවාහ ජීවිත පවා අප ඉදිරියේ අති වඩන්නේ හරියට අප ඒ ගැන නො දන්නවා වගෙයි. ඒ විතරක් නොවෙයි, තනිකඩ කාන්තාවන් යනු ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් උදුරා ගන්නට බලා සිටින පිරිසක් යයි ඇතැමෙක් සිතනවා. ඔබට නරක සැමියන් අපට හොඳ වෙන්නේ මොකට ද, නෝනාවරුනි?

තනිකඩ කාන්තාවන් කියන්නේ වරදට සමාව හා ඔබේ උපකාරය අවශ්‍ය අසරණ පිරිසක් නොවෙයි මහත්වරුනි. ඔවුන්ට ඔවුන්ගේ ම ජීවිත තිබෙනවා. ඒවායේ දුක, සතුටත් වෙනත් ජීවිතවල දුක, සතුට වගේමයි.

තනිකඩ කාන්තාවන්ට අවශ්‍ය සමාජයේ සෙසු අයට තිබෙන පිළිගැනීමයි. සමාජයේ ආදරය හා කරුණාවයි. ඔවුන්ට උපකාර අවශ්‍ය තනිව නැගී සිටීමටයි.

ෂෙරී විසිනි / kiyanna 

Back to Top