Sri Lanka Brief
පිළිසදර15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? ‘කොටි නැඟිටිනවා’ කියන්නේ විහිළුවක් – එම්. සත්තිවේල් පියතුමා

15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? ‘කොටි නැඟිටිනවා’ කියන්නේ විහිළුවක් – එම්. සත්තිවේල් පියතුමා

by

(ඔවුන් නිදහස් කරන්න- සත්තිවේල් පියතුමාගේ ආයාචනය දේශපාලනඥයින්ට ඇසෙයිද? පින්තූරය ©සුනන්ද දේශප්‍රිය)

දේශපාලන සිරකරුවන් පිළිබඳව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සහ යුධ අපරාධ චෝදනා පිළිබඳව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ එම්. සත්තිවේල් පියතුමා සමඟ කළ සාකච්චාවක් පහතින් දැක්වේ.

1. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය කියන්නෙ මොකක්ද ?

වසර 30ක යුද්ධය හේතුකොට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA ) යටතේ නොයෙකුත් චෝදනාවන් මත දීර්ඝ කාලීනව සිරගත කර සිටිනවා 160ක් පමණ සිරකරුවන් පිරිසක්. මොවුන්ගේ ප්‍රශ්නය ගැන කිසිම දේශපාලන ව්‍යාපාරයක් මැදිහත් නොවෙන මොහොතක තමයි අපි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය හැටියට ඉදිරියට එන්නේ.

මේ දේශපාලනික හේතූන් මත සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් විවිධ අවස්ථාවල තමන්ගේ නිදහස් වෙනුවෙන් උපවාසයේ යෙදුණා. ඒ වගේම විවිධ සාමකාමී අරගල කර තිබෙනවා. අපි දකිනවා ඒ ප්‍රශ්න ඔවුන්ගේ විතරක් පමණක් ම නෙවෙයි, මේ රටේ දේශපාලනය ගැන හිතන රටේ ප්‍රගතිය ගැන හිතන ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගැන හිතන හැමෝගෙම ප්‍රශ්න හැටියට. ඒ හේතුවෙන් ඒ සියළුම දෙනාට එකතු වෙන්න හැකි ව්‍යාපාරයක් ලෙසයි ‘දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය’ නම් කරන්නේත්, ආරම්භ කරන්නේත්.

2. ඔබ කියපු පිරිස විතරද දේශපාලන සිරකරුවන් වෙන්නෙ ? දේශපාලන සිරකරුවන් ගැන කතා කරද්දි නිතරම කියවෙන නමක් තමයි කුමාර් ගුණරත්නම්. ඒ ගැන ඔබේ අදහස මොකක්ද ?

ඔව්, කුමාර් ගුණරත්නම් කියන්නෙත් දේශපාලන සිරකරුවෙක්. මීට පෙර සරත් ෆොන්සේකා පවා දේශපාලන සිරකරුවෙක් ලෙස සිරගත කර සිටියා. කුමාර් ගුණරත්නම්වත් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි. කුමාර්ගේ ප්‍රශ්නය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නයක් හැටියට අපි දකිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ දේශපාලන කටයුතු කරන්න සුදුසු වාතාවරණයක් කාටත් තිබිය යුතුයි. එම වාතාවරණය අහිමි කරමින් කුමාර් ගුණරත්නම්ව දීර්ඝ කාලීනව සිරගත කර සිටීම පිළිකුල් සහගතයි.

ඒ එක්කම කිව යුතුයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA ) යටතේ සිරගත කර සිටින අයගේ ප්‍රශ්නය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා ගිය ප්‍රශ්නයක්. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් යටත් කරගෙන, ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය කරමින් දේශපාලනිකව, ව්‍යවස්ථානුකූලව ඔවුන්ව අනාථයින් කිරීමේ අවස්ථාවකදි පීඩිත ජාතියේ නිදහස් වෙනුවෙන් සටන් කළ පිරිසක් ලෙස PTA යටතේ සිරගත කර සිටින අයව අපි නම් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය වගේම වසර 30ක යුද්ධය නිසා බිහිවුණු බරපතළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවාට විසඳුම් සෙවීමේ අභියෝගය අප ඉදිරියේ තියෙනවා. ඒ ප්‍රශ්නය මඟ හැරලා රටක් හැටියට, සමාජයක් හැටියට අපට ඉදිරියට යන්න බැහැ. එහෙම යන්න ගියත් ආයෙත් ප්‍රශ්නයේ මුලටමයි එන්න වෙන්නේ, ඒ නිසා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA ) යටතේ සිරගත කර සිටින අය ගැන ප්‍රශ්නය මුලින් ම විසඳා ගන්න වෙනවා.

ඒ වගේම රටේ අනෙක් ප්‍රශ්න ගැන කතා කරන, මැදිහත් වෙන පාර්ශ්වත් මේ ( PTA ) යටතේ සිරගත කර සිටින අය ගැන කතා නොකරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි ඔවුන් ගැන කතා කිරීමට මූලිකත්වය දෙනවා.

3. දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට විවිධ පාර්ශ්ව විවිධ විසඳුම් යෝජනා කරනවා. සමහරු කියනවා මේ සඳහා විධිමත් නීතිමය ක්‍රියාදාමයකට යා යුතුයි කියලා. ඔබේ යෝජනාව මොකක්ද ?

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධව මේ මොහොත වන විට වර්තමාන රජය විසින් විශේෂ අධිකරණ පිහිටුවලා තියෙනවා. මීට පෙර 2012දීත් මන්නාරම සහ අනුරාධපුර විශේෂ අධිකරණ පිහිටුවා. මන්නාරම විශේෂ අධිකරණය පසුව අහෝසි කළා. අනුරාධපුර විශේෂ අධිකරණයේ මේ වන විටත් දේශපාලන සිරකරුවන්ගේ නඩු 10ක් පමණ තියෙනවා. නමුත් එම අධිකරණයේ දැනට කෙරෙන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වැනි නඩු 400ක් පමණ විභාග කිරීමයි. දේශපාලන සිරකරුවන්ගේ නඩු දීර්ඝ දින ලබා දෙමින් කල් දදා තියෙනවා. 2016 පිහිටවූ කොළඹ විශේෂ අධිකරණය සාමාන්‍ය අධිකරණයක් වගේමයි ක්‍රියාත්මක වෙන්නේ. එය දීර්ඝ කාලීනව නඩු වලට දින ලබා දෙමින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් බලාපොරොත්තු වෙමින් කාලය ගත කරමින් සිටිනවා. එහෙම විශේෂ අධිකරණයක් අවශ්‍ය නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ බලපෑමෙන් පිට අධිකරණයට මේ නිසා කළහැකි දෙයක් නැහැ.

ප්‍රශ්නය පවතින් ස්වභාවය අනුව මේක පවතින නීති රාමුව තුළ විසඳන්නත් බැහැ. රජයට මේක විසඳන්න කිසි වුවමනාවකුත් නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේක දේශපාලනික ප්‍රශ්නයක් හැටියට සලකලා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA ) යටතේ සිරගත කර සිටින සියළුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්න කියලයි.

4. ඔබේ පිළිතුරට එරෙහිව ක්ෂණිකව නැඟෙන තර්කය වෙන්නේ මේකෙන් ‘කොටි නිදහස් වෙනවා’ කියන එක. ඔබ ඊට පිළිතුරු දෙන්නෙ කොහොමද ?

ඉතිහාසයේ මීට පෙරත් උතුරේ සන්නද්ධ අරගලයට දායක වුණු අයව නිදහස් කරලා තියෙනවා. 1987 දී නිදහස් කළා. මෑතකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 12,000ක් පමණ පිරිසක් නිදහස් කරලා තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය හරහා නිදහස් වුණු අය සහ ඇප මත නිදහස් වුණු අයත් ඉන්නවා. ඒවගේම පක්ෂ දේශපාලනික හේතූන් මත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කිසිම නීතිමය ක්‍රියාවලියකින් තොරව, පුනරුත්ථාපනයකින් තොරව නිදහස් කළ අය ඉන්නවා. ඒ අතරේ විශෙෂයෙන්ම නැගෙනහිර LTTE සන්නද්ධ නායක විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, කුමරන් පත්මනාදන් නොහොත් කේ. පී., දයා මාස්ටර් වැනි චරිත ප්‍රධානව ම ඉන්නවා.

මහින්ද රාජපක්ෂ මහතා 2011 වසරේදී 800ක් පමණ හිටපු කොටි සාමාජිකයින් පිරිසක් බස් රථ වලින් ජනාධිපති ලේකම් කාර්යාලය, කතරගම ඇතුළුව රට පුරා ගෙනියමින් සංදර්ශනාත්මකව ඔවුන්ව යොදාගෙන නිදහස් කළා. ඒ ක්‍රියාවලියට සමාජයේ ලොකු පිළිගැනීමකුත් තිබුණා. එදා කවුරුවත් ‘කොටි නිදහස් කරනවා’ කිව්වෙ නැහැ, ඒක වර්ණනා කළා. එදා එහෙම සිරකරුවන් නිදහස් කරපු මහින්දම තමයි අද කොටි නිදහස් කරනවා කියලා මතයක් හදලා ජනතාව බය කරන්න හදන්නේ. එදා ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලිය පිළි අරං හිටපු කෙනෙක් තමයි අද ජනාධිපති වෙලා ඉන්නෙ. විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂය මීට එරෙහිව ජාතිවාදය අවුස්සලා විරුද්ධ වුණේ නැහැ. අද ඒ දෙගොල්ලම එකතුවෙලා තමයි මේ යහපාලන ආණ්ඩුව හදලා තියෙන්නෙත්.

LTTEයේ විවිධ ක්‍රියාකාරකම් වලට දායක වුණු 15,000ක් පමණ පිරිසක් 2009න් පස්සෙ සමාජගත වුණා. දැන් ඉතිරි වෙලා ඉන්නෙ 160ක පමණ පිරිසක්. 15,000ක් එළියෙ ඉද්දි මේ 160 ගැන ජනතාව බය කරමින් කරන කතාව ම ජාතිවාදී වුවමනාව වෙනුවෙන් කෙරෙන පදනම් විරහිත කතාවක්.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස LTTEයට මුදල් සහ ආයුධ දීලා තියෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක LTTEය සමඟ නොයෙකුත් රහස් සාකච්චා කරලා තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිහත් ඒ කාලේ නිල නොවන රහස් සාකච්චාත් පවත්වලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුරේ ඡන්දය වර්ජනය කරවා ගැනීමට LTTEයට සල්ලි දීලා තියෙනවා. මේවා දේශපාලන ක්‍රියාද ? ත්‍රස්තවාදී ක්‍රියාද ? හිරේ ඉන්න අය ත්‍රස්තවාදීන් කියන්න ඉක්මන් වෙන්න කලින් මේවාත් හිතලා බලන්න. මේ අයත් LTTEයට උදව් කරපු අය තමයි. හිරේ ඉන්න සමහර අයත් උදව් කරලා ඇති.

05. එහෙත් මේ 160 අතරේ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව චෝදනා ලබපු අය ඉන්නවා. එතකොට දරුණු ත්‍රස්තවාදීන්ව නිදහස් කෙරෙනවා කියන එක කොහොමද පදනම් විරහිත වෙන්නේ ?

දරුණු කියන්නේ කාටද ? දරුණු කියලා නම් කළේ කවුද ? සාමාන්‍ය නීතියට පිටින් PTA යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලීනව රඳවා තබාගෙන, කායිකව සහ මානසිකව වධ හිංසාවට පමුණුවලා, තමන් නොදන්නා භාෂාවකින් ලියපු කඩදාසියකට අත්සන් අරගෙන, ඒක පාපොච්චාරණයක් ලෙස පිළි අරන් නඩු පවරලා ඒ මත ඔවුන්ව දරුණු ත්‍රස්තවාදීන් හැටියට හංවඩු ගහන එක කොතෙක් සාධාරණද ?
මං උදාහරණ දෙකක් දෙන්නම්.

අපි දන්න තොරතුරු අනුව, ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට අරන් නඩු පවරලා තියෙන්නෙ ඒ අසල පිහිඹියා ගහක අත්තක් කපපු කුලී වැඩ කරන වයසක මනුස්සයෙක්. ඔහුට මේ ඝාතනය එක්ක හෝ LTTEය එක්ක මොනම සම්බන්ධයක්වත් නැහැ. ඒ වගේම, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය ඝාතනය කිරීම සදහා බෝම්බ පිපිරවීම ගැන නඩු පවරලා මේ වනවිට වසර 290ක සිර දඬුවමක් නියම වෙලා ඉන්නෙ තමන්ගෙ ජීවිත කාලෙ අත් අඩංගුට පත්වෙන තුරුම වවුනියාවෙන් මෙපිටට ආපු නැති කෙනෙක්. තව උදාහරණ තියෙනවා. අනිත් අයත් මෙහෙම වෙන්න බැරිද ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්නෙම දේශපාලන වුවමනාවක් මත. ඒ පනත යටතේ අතඩංගුවට ගෙන දැඩි මර්දනකාරී ක්‍රියාදාමයක් තුළ ගනු ලැබූ පාපොච්චාරණයන් මත ඔවුන්ව දරුණු ත්‍රස්තවාදීන් කියන එක අසාධාරණයි. වැරදියි. මේ 160 දෙනාට විතරක් සමස්ත යුද්ධයක වගකීම පටවන එක කොහොමත් වැරදියි.

06. ඇත්තටම මොකද්ද මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA ) කියන්නෙ ආණ්ඩුව විසින් විසඳුම් නොදුන් ජනතා ප්‍රශ්න වලට විසඳුම් සොයා ජනතාව අරගල කරන විට ඒක මැඬපැවැත්වීම සඳහා යොදාගන්නා දරුණු මර්ධන නීතියක්. මේක 88-89 ජවිපෙ කැරැල්ල මර්ධනය කරන්නත් පාවිච්චි කළා, පසුව උතුරේ අරගලය මර්ධනය කරන්නත් පාවිච්චි කළා. 1983 දි විකල්ප දේශපාලන මතධාරීන් අත් අඩංගුවට ගන්නත් පාවිච්චි කළා.

මේ පනත යටතේ අත් අඩංගුවට ගන්න පුද්ගලයින්ව මාස 18ක් යනතුරු විවෘත අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිස් කොට්ටාශ භාරේ, රැඳවුම් නියෝග යටතේ විමර්ශන සඳහා කියමින් රඳවා තබා ගන්න පුළුවන්.
එහෙම රඳවා තබාගෙන සහකාර පොලිස් අධිකාරී වරයෙක් ( ASP ) හෝ ඊට ඉහළ පොලිස් නිලධාරියෙක් ඉදිරියේ අත්සන් ගන්නා ලද ප්‍රකාශයක් පාපොච්චාරණයක් ලෙස පිළිගෙන සිරකරුටම එරෙහිව අධිකරණයකදී සාක්ෂියක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒමත පමණක් පදනම් වෙමින් අධිකරනයෙන් මරණ දඬුවම වුණත් දෙන්න පුළුවන්.

PTA යටතේ බන්ධනාගාර ගත කරාට පස්සෙ ඇප නොදී වසර 10ක් – 15ක් වුණත් තබාගෙන නඩු විභාග කරන්න පුළුවන්. ඒ තුළම නඩුවේ විත්තිකරුට අසාධාරණයක් වෙනවා. ඔවුන්ට සාක්ෂි හොයාගන්න හෝ නඩුවට මුදල් හොයාගන්න ලැබෙන්නෙ නෑ.

ඒ නිසා මේ පනත හුදෙක් මර්ධනය සඳහා මිස සාධාරණව නඩු විසඳන්න ගෙනාව එකක් නෙවෙයි. පනත කියන්නේ ලිඛිත නීතියක්. ඒක ප්‍රායෝගිකව භාවිතා කෙරෙන්නේ ඊටත් එහා දරුණු විදියට. පනතේ හැටියට රඳවා තබා ගන්න පුළුවන් මාස 18ක් වුණත් ඊට එහා රඳවා ගෙන ඉඳපු අවස්ථා තියෙනවා. වසර 05ක් යනතුරුත් විවෘත මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් නොකළ අය ඉන්නවා. ඒ රඳවා ගැනීමේ කාලය තුළ සිරකරුවන් දරුණු ලෙස කායිකව සහ මානසිකව වධයට පත් කරලා තියෙනවා. කකුල් දෙකෙන් එල්ලා පහර දීම, නියපොතු ගැලවීම, පෙට්‍රල් බෑග් මුහුණට දැමීම, හිස ජලයේ ඔබා වධදීම, ලිංගේන්ද්‍රියට කම්බි කූරු ඇතුල් කිරීම වැනි දරුණු වධ හිංසා වලට ලක් කරලා තමයි ප්‍රකාශ වලට අත්සන් ලබාගන්නෙ. ඒවගේම තමන්ගේ ජීවිතය ගැනත් තම සමීප ඥාතීන්ගේ ජීවිත ගැනත් තර්ජනය කරලා, බියවද්දලා මානසික හිංසා වලටත් ලක් කෙරෙනවා.

බොහෝ දෙමළ දේශපාලන සිරකරුවන් සිංහල භාෂාව දන්නෙ නැහැ. එවිට ඔවුන් තමන්ට නොතේරෙන භාෂාවකින් ලියපු ප්‍රකාශයකට තමයි අත්සන් කරන්නේ. සමහරු තමන්ට එරෙහිව තියෙන චෝදනා දැනගන්නෙත් උසාවියේ නඩු ආවාට පස්සෙ. ASP හෝ ඉහළ පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ප්‍රකාශය කරලා අත්සන් කළාය කිව්වට බොහෝ අය අධිකරණයට ඉදිරිපත් වෙන ASP වරයාව දකින්නෙත් අධිකරණයෙදි, එදාමයි. මේ පාපොච්චාරණ සැලකෙන්නේ නීතිය පිළිබඳව දැනුවත්ව ස්වේච්ඡාවෙන් ලබාදෙන ඒවා හැටියට. මෙහි ඇති හාස්‍යජනක පැත්ත වෙන්නේ මෙතෙක් PTA යටතේ නඩු පැවරූ සියළුදෙනාම නීතිය පිළිබඳව අවබෝධයෙන් යුතුව සහ ස්වේච්චාවෙන් ම පාපොච්චාරණය කිරීමට ඉදිරිපත් වූවන් විය හැකිද යන්නයි. මෙහෙ තිබුණේ සන්නද්ධ අරගලයක්.

මේ නිසා පැහැදිලියි මේක අරගල මර්ධනය කරන්න ගෙනාව නීතියක් මිස සාධාරණය ඉෂ්ට කරන්න ගෙනාව නීතියක් නෙවෙයි. ඒ නිසා සිරකරුවන් නිදහස් කිරීම වගේම මේ පනතත් අහෝසි විය යුතුයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව වර්තමාන ආණ්ඩුවත් පිළි අරං තියෙනවා. එතැනදිම ප්‍රශ්නය පැහැදිලියි. ඊළඟට ඔවුන් කියන්නේ පනත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගත කරනවා කියන එක. ඒකෙන් කියවෙන්නේ ඊළඟ මොහොතේ ජනතා ප්‍රශ්න විසඳන්නේ නැතිව මතුවෙන අරගල ජාත්‍යන්තරයත් එක්කම එකතු වෙලා මර්ධනය කරනවා කියන එකයි. ඒක උතුරේ විය හැකියි, දකුණේ විය හැකියි. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ විය හැකියි. ඒ නිසා පනතට සංශෝධන නෙවෙයි, පනත අහෝසි කරන්න ඕනෑ. ලෝකය පිළිගත්තු සාමාන්‍ය නීතියක් රටේ ප්‍රශ්න විසඳාගන්න ප්‍රමාණවත්. එහෙම නැහැයි කියනවා නම් ලෝකෙ නැති ප්‍රශ්නයක් මෙහෙ තියෙනවා කියලා පිළිගන්න වෙනවා.

ආණ්ඩුව මේ පනත අහෝසි නොකරන්නේ සිරකරුවන් නිදහස් කරන්න වෙන නිසා, ඊට දකුණෙන් එල්ල වෙන ජාතිවාදී පීඩනයට බයේ නම්, ඒකෙන් වෙන්නෙ අපි රටක් හැටියට ආයෙමත් වසර 30කට එපිටින් මේ ප්‍රශ්නය පටන් ගත්තු මුලටම එන එකයි.

07. මේ සිරකරුවන් නිදහස් කළොත් ඔවුන් යළි LTTE සංවිධානයක් ගොඩ නැඟිය හැකියි කියලා මතයක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ ?

අපි කලින්ම සඳහන් කළා, 15,000ක් පමණ පිරිසක් හිටපු LTTE සාමාජිකයෝ දැනටත් සමාජගත වෙලා ඉන්නවා. නොවිසඳුණු ප්‍රශ්නත් එහෙමම තියෙනවා. එහෙම නම් ඒ 15,000 නොකළ දෙයක්, ඔවුන්ට බැරි දෙයක් කොහොමද මේ 160 දෙනෙක් කරන්නේ ? මේ 160 දෙනා නිදහස් වෙලා ගියාම ඔවුන්ට එළියේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, වසර ගණනක් සිරගතව ඉඳලා එළියට එන්න ඔවුන් ශාරීරිකව සූදානම්ද කියන ප්‍රශ්නය පවා තියෙනවා. හිරගෙදරදී ශරීර දුර්වල කිරීමක් කෙරෙන්නේ. වසර 15ක් 20ක් තරම් කල් සිරගත වෙලා ඉඳලා එන අයට නිදහස් වුණත් සමාජයට හුරු වෙන්න, අනුගත වෙන්නම සෑහෙන කාලයක් යනවා. ඔවුන් නැවත LTTE එකක් හදනවා කියලා තර්ක කරන එකම විහිළුවක්. අනික ඕනෑම සංවිධානයක් හදන්න බලපාන භෞතික පදනමක් තියෙනවා. ඒක තවදුරටත් නැතිනම් කාගෙවත් වුවමනාවට සංවිධාන හදලා පවත්වාගෙන යන්න බැහැ. ඒක උතුරෙද දකුණෙද කියලා වෙනසක් නැහැ. කාටත් වෙන දෙයක්.

ඒවගේම, ජාතික ප්‍රශ්නය විසඳලා නැහැ. ආර්ථික ප්‍රශ්නය විසඳලාත් නැහැ. ඒ නිසා අරගල මතුවෙන්න පුළුවන්. ඒකට උතුරද දකුණද සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා එකක් නැහැ. ඉතිහාසය කියන්නෙම එහෙම එකක් තමයි. අරගල මතු නොවෙන්නයි මේ ප්‍රශ්න විසඳන්න කියලා කියන්නේ. ආණ්ඩුව අතේ තමයි මේකෙ වගකීම තියෙන්නෙ.

අනෙක් අතට ගත්තාම මේ 160 අතරේ හිටපු LTTE නායකයෝ නැහැ. අණ දෙන්නෝ නැහැ. නැව් ගණන් ආයුධ ගෙනාව අය නැහැ. ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණු අය නැහැ. එහෙම අය එළියේ දැනටත් සාමාන්‍ය විදියට ඉන්නවා.

08. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විදියට මෙතෙක් ඔබ අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද ?

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ලෙස අපි මේ සිරකරුවන්ගේ දෙමව්පියන්, පවුල් සාමාජිකයින් එක්ක ලොකු සම්බන්ධයක් ගොඩ නඟාගෙන තියෙනවා. ඒ තුළින් ඔවුන් වෙනුවෙන් කතා කරන, පෙනී සිටින පිරිසක් ඉන්නවාය කියන හැඟීම දෙමව්පියන්ට, ඥාතීන්ට සහ සිරකරුවන්ට ලබා දීලා තියෙනවා. මේ සිරකරුවන් දේශපාලනඥයින්ව හෝ ආණ්ඩුවව හෝ විස්වාස කරන්නේ නැහැ, ඒ අය බොරු පොරොන්දු දීලා තියෙන නිසා. දැන් සිරකරුවන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන කණ්ඩායමක් ඉන්නවාය කියන හැඟීම තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය ගැන විස්වාසයක් නැතත් අපි නීතිමය වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටළුවලට මැදිහත් වෙනවා. මේ වන විට සිරකරුවන් බන්ධනාගාර වල උපවාස කරද්දී අපි උද්ඝෝෂන ව්‍යාපාර සංවිධානය කරමින් ජනතාව දැනුවත් කරලා තියෙනවා. මාධ්‍ය හරහා මේ ප්‍රශ්නය ජනතාව අතරට ගෙනියලා තියෙනවා. නිහඬව හිටපු දේශපාලකයින්ව මේ ප්‍රශ්නය ගැන උනන්දු වෙන්න පොළඹවලා තියෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත් දැනුවත් කරලා තියෙනවා.

මේක උතුරේ ප්‍රශ්නයක් පමනක් හැටියට නොගෙන, උතුරත් දකුණත් යාකෙරෙන සැබෑ සංහිඳියාවකට යාමේ පියවරක් අපි ආරම්භ කරලා තියෙනවා. සංහිඳියාව කියන වචනය දැන් හැම තැනම කියවෙනවා තමයි. ආණ්ඩුවට ඕනෙ වෙලා තියෙන්නෙ ආර්ථික සංහිඳියාවක්. පාරට තාර දාලා හදන තාර කාපට් සංහිඳියාවක්. එහෙත් අපට ඕනෙ එහෙම එකක් නෙවෙයි, මේ ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකෙන සැබෑ සංහිඳියාවක්. ‘දැන් ඔක්කොම ඉවරයි, අපි දෙගොල්ලො යාළුවෙමු’ කියනවා වගේ සංහිඳියාවක් නෙවෙයි, ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන සංහිඳියාවක් තමයි රටේ ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ.

09. ජාතික ගැටළුව පිළිබඳව සංවේදී වෙන සංවිධානවලට බොහෝ විට එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන් විදෙස් මුදල්- ඩොලර් මත ක්‍රියාත්මක වෙන NGO ව්‍යාපාර කියන එක. ඒ ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනවද ?

පොදුවේ එහෙම චෝදනාවක් තියෙනවා. එහෙම ව්‍යාපාරත් ඇති. එහෙත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය හැටියට අපිට මේක සල්ලි හොයන ව්‍යාපෘතියක් නෙවෙයි. අපිට ඔහොම චෝදනාවක් එල්ල වෙලාත් නැහැ.

මේක මේ වාමාංශික පක්ෂ සහ ප්‍රගතිශීලී සමාජ ක්‍රියාකාරිකයින් විසින් කළ යුතු වැඩක්. එයාලා නොකරන දේ තමයි අපි කරන්නේ. මේක දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ප්‍රගතිශීලී පුද්ගලයින් ආදී ගණනාවකගේ එකතුවක් හැටියටයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේකෙන් යැපෙන පුද්ගලයෝ නැහැ. ඒ නිසා මුදල් චෝදනා අපට අදාල නැහැ. මේක අපේ විතරක් නෙවෙයි රටේම මිනිසුන්ගේ සමාජ වගකීමක්. අපිට මේකෙන් ජීවත් වෙන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, මිනිස් ජීවිත ගණනාවකගේ නිදහස සිරගත කරලා තියෙනවා දැනට, ඔවුන්ව නිදහස් කර ගැනීමේ ප්‍රශ්නයක් අපට තියෙන්නේ.

10. මේ පිරිස නිදහස් කරනවා නම් යුධ අපරාධ චෝදනා ලද හමුදා සාමාජිකයින්වත් නිදහස් කළ යුතුයි කියලා මතයකුත් තියෙනවා. මේ එකම යුද්ධයක දෙපාර්ශ්ව නේද ? ඉතින් මේ දෙකම සමානයිද ?

අවුරුදු 30ක යුද්ධයකදී විශාල පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුවා. දැනට රඳවා තබාගෙන ඉන්නෙ 160ක පමණ කුඩා කණ්ඩායමක්. අත් අඩංගුවට ගත්තු මොහොතේ පටන් මේ වන තුරු ඔවුන්ව විවිධ විදියට ප්‍රශ්න කරලා තියෙනවා, වධ හිංසාවට ලක් කරලා තියෙනවා, අසාධාරණ ලෙස. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය කතා කරන්නේ ඒ අයගේ නිදහස ගැන.

යුධ අපරාධ සම්බන්ධයෙන් හමුදාවේ කිසිවෙක් මේ වනවිට අත් අඩංගුවට ගෙන නැහැ. ඒක කතාවක් විතරයි. එසේ යුධ අපරාධ සිදු කෙරුණත් වර්තමාන ආණ්ඩුව පවා ඔවුන්ව ආරක්ෂා කරන වෑයමක තමයි පසුවන්නේ. දැනට මෑතකදී අත් අඩංගුවට අරන් ඉන්නෙ යුධ අපරාධ චෝදනා කියන පදනමින් අත් අඩංගුවට ගත්තු හමුදා සාමාජිකයින් නෙවෙයි. විවිධ නීති විරෝධී කටයුතු සඳහා අත් අඩංගුවට ගත්තු පිරිසක්. ඒ නිසා දේශපාලන සිරකරුවන් සහ මේ අය කියන්නෙ දෙකක්. සීනි වෙනයි ගෝනි වෙනයි.

ආණ්ඩුවක් කියන්නේ ජාත්‍යන්තර නීති පිළිගත්, ඒ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු මත ක්‍රියාත්මක වෙන දෙයක්. එහි හමුදාව කියන්නේ රටේ නීතිරීති, හමුදා නීතිරීති සහ ජාත්‍යන්තර නීති අනුව කටයුතු කළයුතු පිරිසක්. ඒවා යම් හමුදා සාමාජිකයෙක් උල්ලංඝනය කරලා තියෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක්. ලෝකයක් ඉදිරියේ අපි ගෝත්‍රික සමාජයක් නොවී ශිෂ්ටසම්පන්න සමාජයක් වෙන්න නම් රජයක් ඒක කළ යුතුයි. ඒක වුණත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වගේ අවුරුදු ගණන් රඳවා තබාගෙන, එල්ලලා පහර දීලා, බලපෑම් කරලා නීතියෙන් පිට ක්‍රියාමාර්ග ගන්නවා නම් අපි ඊට විරුද්ධයි. සාධාරණ පරීක්ෂණයක් කෙරෙන්න ඕනෙ සමාන නීතියක් යටතේ. එහෙම නොවුණොත් ආයෙත් වෙන්නෙ ජාතික ප්‍රශ්නය කොහෙන් හෝ ඇවිළෙන එකයි.

11. ඔබේ සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද ?

අපි දැනට ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සාකච්චාවක් ඉල්ලා ලිපි යවලා තියෙනවා. අවස්ථාවක් ලැබෙනවා නම් එහිදී දේශපාලන සිරකරුවන් මුහුණදී සිටින ගැටළු, මෙතෙක් ප්‍රශ්නයේ ස්වභාවය, දේශපාලනික තීන්දුවක් ගැනීමේ වුවමනාව සහ මොවුන් නිදහස් කිරීම ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් කොතරම් වැදගත්ද යන්න පිළිබඳව කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරිකයින්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් යුතුව දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බලකෙරෙන පෙත්සමක් අත්සන් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මේක සමාජ ප්‍රශ්නයක්. ඊට අදාල බරින් යුතුව සලකලා උතුරේත් දකුණේත්, සිංහල දෙමළ මුස්ලිම් සියළුම ජනතාව එකතු කරගනිමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලය ඉදිරියට ම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

සාකච්චා කළේ – රුවන් නෙලුගොල්ල / LNW

Back to Top