Sri Lanka Brief
පුවත් විශේෂාංගජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

by

( මංගල සමරවීර මානව හමිකම් කවුන්සලයේ 32 වන සැසිවාරය අතරතර පැවැති සමාන්තර රුස්වීමෙහි අදහස් දක්වයි)

2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ලද පිළිගැනීමයි. ඒ ජය කැපි පෙනෙන හොඳම අන්තර් ජාතික වේදිකාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයයි. මෙම සති අන්තයෙහි අවසන් වූ එහි 32වන සැසි වාරයේහිදීද ඒ බව මනාව දක්නට ලැබුණි.

මෙම සාධනීය වර්ධනයේ එක් ප්‍රධාන පැතිකඩක් නම් විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් භාවිතයට නඟා ඇති සංහිදියා රාජ්‍යෝපායයි. ( reconciliation diplomacy) ඒ බව පසුදා අවසන් වූ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙහිදී අපූරුවට දක්නට ලැබුණි.

රාජපක්ෂ සමයෙහි ශ්‍රී ලංකාව අනුගමනය කළේ දෙන්ඤම් බැටේ  රාජ්‍යෝපායකි. එවැනි රාජ්‍යෝපායක විපාකය වූයේ සතුරන් උග්‍ර සතුරන් බවටද අතරමැදියන් සතුරන් බවට ද මිතුරන් අතරමැදියන් බවට ද පත්වීමය‍. එය රාජපක්ෂගේ මර්ධනකාරී දේශපාලනයට සම්පාත විය.

සමරවිර දෙමළ ඩයස්පෝරා නියෝජිතයින් සමඟ කතා බහක ද යෙදුනි © sunanda deshapriya

සමරවිර දෙමළ ඩයස්පෝරා නියෝජිතයින් සමඟ කතා බහක ද යෙදුනි © sunanda deshapriya

අද මෙරට පවත්නා ද්වි පක්ෂ ආණ්ඩුවද එය විසින් මානව හිමිකම් ක්ෂෙත්‍රයෙහි ඇති කරන ලද ප්‍රගතියද විදේශ ඇමැති සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය සමඟ සම්පාත වෙයි.

මහ කොමසාරිස් සෙයිඩ් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ 29දිනට පෙරදා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  සමාන්තර රුස්වීමක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වන ලද්දේ ඇමැති සමරවීර විසිනි. ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරණ යෝජනාවෙහිදී දෙන ලද පොරොන්දු අනුව කටයුතු කිරීමට බැදී සිටින බව අවධාරනය කළ ඔහු කියා සිටියේ සංහිදියා ක්‍රියාවළියෙහි දක්නට ඇති දුබලතා සම්බන්ධයෙන් ආණ්ඩුවද කණස්සල්ලට පත්ව ඇති බවයි. 2017 මාර්තුවෙහිදී තමන් මෙහි පැමිණෙන විට සංහිදියා ක්‍රියාවළියේ වඩා ප්‍රගතියක් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිළි අදහසක්ද ඇතිව තිබෙනු ඇති බවයි.

මෙම සාකජ්චා සභාව හුදෙක් කරුණු දැනුම්දීමේ එකක් වන ඇතැයි කුකුසක් පැවැතියද එහි වැඩිම කාලය වෙන්වූයේ ප්‍රශ්න සඳහාය. දෙදෙනෙකු හැර අන් සියළුම ප්‍රශ්න අසන ලද්දේ දෙමළ පිරිස් විසිනි. එම ප්‍රශ්ණ බහුතරය පැමිණියේ දෙමළ ඩයස්පෝරාවෙනි. ප්‍රශ්න සමහරක් කටුක සහ උග්‍ර විවේචනයන් විය.

ඇමැති සමරවීරගේ පිළිතුරු ප්‍රවිශ්ඨය වුයේ ප්‍රතිප්‍රහාර දීම වෙනුවට ප්‍රශ්ණයක විවිධ පැති තිබිය හැකි බවත් හොඳම විසඳුම එකට එක්වී ප්‍රශ්ණ මේසය මතට ගෙන විසදුම් සෙවීම බවත්ය. මේ වනාහී 2007 තරම් කාලයක සිට ශ්‍රී ලංකාණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහිදී දක්වන ලද සතුරු ආකල්පයේ සම්පුර්ණ වෙනසක් විය. එකළ රාජපක්ෂගේ මැති අමැතිවරු මානව හිමිකම් කවුස්සිලයට ආවේ සටන් කරන්නටය. ඒ සදහා දුසිම් ගණන් පාබල සෙබලුන්ද රුගෙන ආහ.

ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ්ගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් කොරියානු ජනරජය (දකුණු කොරියාව) කියා සිටියේ ශ්‍රී ලංකාණ්ඩුවේ වත්මන් පිළිවෙත පසුගිය දස වසර තුළ මානව හිමිකම් කවුන්සිලයෙහි දී අත් නොදුටු තරමේ  සම්මුතිබද්ධ ආකල්පයක් බවයි.  දෙමළ ඩයස්පොරාවෙහි ප්‍රශ්ණයන්ට දක්වන ලද එකඟතා ගොඩ නැගීමේ ප්‍රතිචාර පිළිවෙතද ඒ බව සනාථ කළේය. එපමණක් නොව එම සාකච්ජා සභාව අවසන් වී සැහෙන වේලාවක් එම පිරිස් සමඟ සුහද අදහස් හුවමාරු කර ගනිමින්ද ශ්‍රී ලංකා දූත කණ්ඩායම රැදී  සිටියේ ය.

2015 සැප්තැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසිවාරයේදී සම්මත වූ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් පිළිබඳ 30/1 දරණ යෝජනාව ශ්‍රී ලංකාණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිය වාචික වාර්තාව ඉදිරිපත් කළේ 29දාය. 2017 වර්ශයේ මාර්තු මාසයේදී ඔහු විසින් එ අරභයාම විස්තිර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සිය වාචික වාර්තාවෙහි නිගමනයන් සෙයිඩ් අල් හුසේන් ආරම්භ කරන ලදදේ පහත සඳහන් වචන වලිනි. ‘‘ 30/1 දරණ යෝජනාවෙහි දී ශ්‍රී ලංකාව විසින් දෙන ලද යම් යම් මුලික පොරොන්දු ඉටු කිරීමට එරට ගෙන ඇති පියවර සමස්තයක් වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරවයි.”

එකී නිගමනයන් ඔහු විසින් අවසන් කරන ලද්දේ මෙම වචන මගිනි. ‘‘මෙකී ක්‍රියාවලිය තහවුරු කිරීමට සහ සියළු පරදුකාර පාර්ශයන්ට විශේෂයෙන්ම වින්දිත ප්‍රජාවට සහතිකවීමට සහ විශ්වාසය ඇති කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ දිරිමත්කිරීම සහ සහාය තීරණාත්මක විය. එබැවින් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධ සිය සමීප ක්‍රියාකාරිත්වය දිගටම පවත්වා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව 34වන සැසිවාරයේදී  වඩා ප්‍රගතියක් වාර්තාකරන්නට මහ කොමසාරිස්වරයා අපේක්ෂා කරයි.”

එම වාර්තාවෙහි එන නිගමනයන් විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රගතිය පැහැදිළිව අගය කරන අතරම මේතාක් ඉටු නොකර ඇති එනමුත් ඉටු කර හැකිව තිබූ කරුණු ගණනාවක්ද සටහන් කරයි.

‘‘අනෙක් කරුණු අරභයාද වඩා ඉක්මන් සහ කල් පවත්නා  ප්‍රගතියක් අත්කර ගත හැකිව තිබුණි. එනම් සුලුතර ප්‍රජාවන් තුල විශ්වාසය ගොඩ නැගෙන ඉඩම් සහ රුදවුම්කරැවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීමේ පනත පරිශෝධනය කිරීම යනාදියයි. සංකේතබවට පත්ව ඇති සිදුවීම් පරීක්ෂාකිරීමෙහිලා මුලදී ලබා ගත් ප්‍රවේගය දිගටම පවත්වා ගත යුතුය. මන්ද යත් ඉක්මන් නඩු පැවැරීම් සහ විභාගයන් විසින් අතිතයෙහි පැවැති දණ්ඩ මුක්තියෙන් බැහැරවීමේ ලක්ෂයක් බවට පත්විය හැකිව තිබූ බැවිනි. අනීතික අත් අඩංඟුවට ගැනීම්. වධහිංසා පැමිණවිම්  සහ ලිංගික ප්‍රචණ්ඩත්වයන් මෙන්ම වඩා පුළුල් මිලිටරි සොදිසියන් සහ බිය ගැන්වීම් පිළිබඳ චෝදනා ක්ෂණිකව ආමන්ත්‍රණය කළ යුතුය. එම භාවිතයන් ප්‍රවර්ධනය කළ ව්‍යුහයන් සහ ආයතනික සංස්කෘතිය අහෝසි කිරිම මගින් අතීතයෙහි සිදුවූ භාවිතයන්ට කිසිදු ඉඩක් නොදෙන බව පෙන්වා සිටිය යුතුය.”

එම වාර්තාවෙන් පසු අදහස් දැක්වූ රටවල් අතුරින් අති බහුතරය ඉදිරිපත් කළ විවේචනාත්මක කරුණු වූයේ ද සෙයිඩ් විසින් පෙන්වවා දෙන ලද එම කාරණාය. සංහිදියා ක්‍රියාවළිය අරභයා ලංකාණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙහි විශවසනීයත්වය මැනෙන මිණුම් දඩු බවට බෙහෝ දුරට දැන් පත්ව ඇත්තේ ඉඩම් සහ රුදවුම්කරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, දණ්ඩ මුක්තිය අහෝසි කිරීම. උතුරු නැගෙනහිර දිගටම පවත්නා යුද කරණය, සහ යුද හමුදා විසින් පවත්වා ගෙන යන හිරිහැරකාරී භාවිතයින්ය.

ශ්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් ඉහත දැක්වුණු ප්‍රසාදය පළ කළ කොරියානු ජනරජය පවා මෙරට සංහිදියා පිළිවෙතෙහි මන්දගාමී බව සම්බන්ධයෙන් අදහස් තදින් ඉදිරිපත් කළේය.

ඇමැති සමරවීර ද කියා සිටි පරිදි දුෂ්කරම කාර්යය වනු ඇත්තේ අපරාධ විනිශ්චය යාන්ත්‍රණයක් පිහිටුවීමයි. ඒ බව මානව හිමිකම් කවුන්සිලයේ පොදු පිළිගැනීමක්ද වේ. එනමුදු ඊට පෙර ඉක්මණින් විසඳිය හැකි ප්‍රශ්ණ පවා ආණ්ඩුව තවම විසඳා නැත.

සංහිදියා රාජ්‍යෝපාය හුදෙක් කතා සාප්පුවක් නොවේ. ඒ බව ඇමැති සමරවීරද පිළිගනී. ඔහුම ඉහත කී සාකච්ජා සභාවෙහිදී කියා සිටි පරිදි පුඩිමක රස බැලිය හැක්කේ එය අනුභව කිරීමෙන් පමණි. එනම් අත්දැකිමෙන් තොරව යමක් නිගමනය කළ නොහැකි බවයි. සංහිදියා රාජ්‍යෝපාය  කතාව දෝලාවෙන් ගමන පයින් නොවනු පිණිස ලබන මාර්තු මාසයට පෙර ඉටු කැරෙනු ඇති සංහිදියා පියවරයන් පිළිබඳ දින වකවානු සහිත මාර්ග සිතියමක් සකස් කිරීම අද අත්‍යවශ්‍ය වේ. මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරයෙන් ශ්‍රී ලංකාණ්ඩුව උකහා ගත යුතු එක් පාඩමක් එයයි.

Back to Top