Sri Lanka Brief
පුවත් විශේෂාංගසතියේ ආරක්ෂාව: අධිකරණ ඇමතිගේ “සිල්වත් බුදුබණ” ඇවන්ට් ගාඩ් පව් සෝදා හැරියේද? සාදු… සාදු… සා!!!

සතියේ ආරක්ෂාව: අධිකරණ ඇමතිගේ “සිල්වත් බුදුබණ” ඇවන්ට් ගාඩ් පව් සෝදා හැරියේද? සාදු… සාදු… සා!!!

by

නිලන්ත ඉලංගමුව

“පැහැදිලිවම සර්… මෙරට ව්‍යවසායකයින් හැර කොටස සැලකූ කල චීන ජාතිකයින් සෑම ආකාරයකින්ම ගරුත්වය අතින් අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. පානීය ජලය, විදුලිය, අපද්‍රවය බැහැරකරන පද්ධතිය, පොදු ප්‍රවාහන, සනීපාරක්ෂාව, විනය, අනුග්‍රහය, හෝ වෙලාවට වැඩ කරන හැඟීමක් ආදී කිසිවක් අපට නැති නමුත්, අපේ ජාතියට ‘”ව්‍යවසායකයින්” දස දහස් ගණනක් සිටිති. – ධවල කොටියා – අරවින්ද් අඩිගා

සුකරමින් සිටින කාලය තුළ මතු වී ඇති මුලික කාරණා කිහිපයක් නිරීක්ෂණය කළ හැකිය. මූලික සහ වැදගත් යයි හැඟෙන පළමු කරණය වූ කලී, රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතාගේ ආගමනයයි. යළි මෙරටට පැමිණීම සම්බන්ධයෙන්, තම පවුලෙන් ලැබුණු ධනාත්මක නොවන ප්‍රතිචාර එකත් පසෙක තමබින් හෙතම යළි නාවික හමුදා සේවයට එක් වීම සැබවින්ම වැදගත් කාරණයකි. මේ ගැන මෙම තීරුව අවසානයේදී ඉතාම කෙටියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

දෙවැන්න, තවත් සගයින් කිහිපදෙනෙකු සමග පකිස්තානයේ වැඩිදුර අධ්‍යාපනයට ගොස් සිටින බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන මහතා මුහුණ දී ඇති තත්වයයි. අදාළ සිදු වීම සම්බන්ධයෙන් හෙතම යුධ හමුදාපතිවරයාට මුලික ලිඛිත පැමිණිල්ලක් සිදු කොට ඇති නමුත්, සිදුවීම අරම්භයා ගෙතී ඇති මාධ්‍ය වාර්තා සැබවින්ම අප්‍රසන්නය. ඇතැම් පුවත් හෙතම මේජර් ජනරාල්වරයෙකු කොට ඇත්තේ ඔහුට ලැබීමට නියමිත උසස්වීම කෙසේ හෝ කඩාකප්පල් කිරීමට සකස් කළ ගූඪ සැලසුමක් සේය. අනෙක් පසින්, යුධ හමුදාවේ සේවය කරන කාලය තුළ තම අභිමානය ගැන සිහි නුවණින් කටයුතු කළේ යැයි බොහෝ දෙනෙකු අතර පිළිගැනීමක් ඇති නිලධාරියෙකු වූ, බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර මහතා, මෙවැනි සිදුවීමක් අරම්භයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක වගකීමක් දරන්නෙකු ලෙස කටයුතු කළ ආකාරය අර්බුදය කසළ ගොඩක් බවට පත්කොට ඇත.

තෙවැන්න, යළි යළිත් ඇදෙන විවිධ කෝණයන් බලා චලනය වන ඇවන්ට් ගාඩ් ජවනිකාවයි.

මෙම පසුබිම යටතේ පසුගිය දින කිහිපය තුළ සිදු වූ කාරණා ගැන සලකා බැලීම වැදගත් යයි සිතේ.

ගාලු කතිකාව

සති කිහිපයක් ගත විය. සය වන වතාවටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව නිමා වූයේ ධනාත්මක කාරණා රාශියක් ඉතිරි කිරීමෙන් වුවද එහි අහුමුලු වල සිදු වූ ඉතාමත් නීරස දෑ එහි සාරය දියාරූ කිරීමට සමත් වූයේ දැයි සැක සහිතය. ගාලු කතිකාවේ සමාරම්භක දේශනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා වැදගත් කරුණක් මතු කරුණු ලැබීය. එය දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම ප්‍රතිපත්ති තීර්කයින්ගේ අවධානයට යොමු වූ බව නිසැකය. ඔහු එහිදී අවධාරණය කරනු ලැබුවේ මෙරට මුහුදු සීමාව තුළ කිසිඳු විදෙස් රටකට නාවික මධ්‍යස්ථානයක් පිහිටුවීමට කිසිඳු ලෙසකින් ඉඩ නොතබන බවයි.

defence_Column_NIඅග්‍රාමාත්‍යවරයාගේ දේශනයට පූර්ව කථනය කළ නාවිකා හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා තම මෙරට නාවික ඉතිහාසය සම්බන්ධයෙන් වඩාත් ආකර්ශනීය කරුණු රාශියක් ඉදිරිපත් කරනු ලැබීය.

ගාලු කතිකාව සඳහා බංගලාදේශය, ඉන්දියාව, මොසැම්බික් සහ නයිජිරියාව රටවල සේවයේ නියුතු නාවිකා හමුදා ප්‍රධානීන් ඇතුළු රටවල් 36 කින් සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක් නියෝජනය කළ නියෝජිතයින් 110 ක් සහභාගී වූහ. ඔවුහු ජගත් දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා හමුවේ නාවික කටයුතුවල ඇති අභියෝග මෙන්ම ඒවා ජය ගත හැකි ක්‍රමෝපායන් ගැන දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

මේ අතර ඊට මෙරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන්ට මෙන්ම නාවික හමුදාපතිවරුන්ටද ඇරයුම් ලැබී තිබුණි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඊට සහභාගී නොවීය. ඊට විවිධ හේතු තුබුණි. හෙතම පවතින පාරසරික තත්වය ගැන මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකු බව අවිවාදිතය. අනෙක් නාවික හමුදාපතිවරුන් සියල්ලම පාහේ ඊට සහභාගී වූ අතර එක් විශ්‍රාමික හමුදාපතිවරයෙකු හැර අනෙක් සියල්ලම නිසි වෙලාවට පැමිණ, නිසි වෙලාවට තම නිවෙස් බලා පිටත් වූහ. ඉන් එක් අයෙකු කාලය නමැති අහස තුළ පායන හඳ බැලීමට මෙන් රැඳී සිටි අතර, රාත්‍රී බෝජන සංග්‍රහයේදී බොහෝ නිලධාරීන්ට ඒ නිසා නොසිතු නොපැතූ සිදුවීමකට මුහුණ දීමට සිදු වූ බව පැවසේ. හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාහට විශේෂ ස්තූති කිරීමක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

ගාලු කතිකාව ආරම්භ වීමට පෙර සකස් වී තුබූ දේශපාලන පසුබිම ප්‍රධාන කාරණා දෙකක් මූලික කර ගනිමින් හැඩ ගැසී තිබුණි. පළමු සහ වඩාත් ප්‍රසිද්ධ වූ කරණය වූ කලී, ඇවන්ට් ගාඩ් සමාගම විසින් ඇතිකළ අර්බුධකාරී තත්වයයි. දෙවැන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මෙරට සිදුකළ සංචාරයෙන් පසු කොළඹ පැවති මාධ්‍යය හමුවේදී ඉදිරිපත් කළ සංවේදී කාරණයයි. එනම් ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කඳවුර තුළ මීට වසර කිහිපයකට පෙර පවත්වාගෙන ගියේ යැයි කියන වධ කඳවුරයි.

අදාළ නියෝජිතයින් පිරිස වඩාත් නිවැරදිව කරනු දක්වමින්, එවැන්නක් තිබූ බව සේම එවැනි දෑ වර්තමානයේ සිදු නොවන බව සඳහන් කළහ. මෙම කාරණයේ අර්ධ සත්‍යයක් තම දෑතට ගනිමින් වැලේ වැල් නැති දේශපාලනඥයින් සේම පට්ටපල් බොරු ගොතන දේශපාලන විතණ්ඩවාදීන් විවිධ මත වපරනු ලැබීය. සැබවින්ම මෙම කාරණයේදී නාවික හමුදාපතිවරයාගේ වැඩපිළිවෙල අගය කළ යුතුය. එසේම අදාළ වධකාගාරය භාවිතා කරනු ලැබුවේ නාවික හමුදාවේ කීර්තිය කෙලසමින් තම පෞද්ගලික ධනය විස්තාරණය කරගත් නිලධාරීන් කිහිප දෙනෙකි. මොවුහු ත්‍රස්තාවාදයට එරෙහිව යුද්ධ කරන්නේ යයි කියමින්, කරනු ලැබූ දෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම බවට පත්වීම රටේ යහපතට හේතු වේ.

ඇවන්ට් ගාඩ් මග හරින සත්‍යය සහ උලුප්පන විකෘතිය

මේ අතර ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් මතු වී ඇති කාරණය, විවිධ මායිම් ඔස්සේ විවිධ පැති වලට ගමන් කරමින් තිබේ. රටේ අධිකරණ සහ බුද්ධ සාසන ඇමති, තම “පුද්ගලික මතය” ඉදිරිපත් කිරීමට ඇති මුලික මානව අයිතිය මනා ලෙස ප්‍රයෝජනය ගමින් රටේ මාධ්‍යය සහ තමන් වටා සිටින අයවලුන් හමුවේ විවිධ තර්ක වපුරමින් සිටින ආකාරය කදිමය. ඔහුට අනුව තම ඇමතිධූරය අතහැරීම අලුයම හෙලූ කෙල පිඩක් සේ කිරීමට පසුබට නොවන්නේලු. එසේම ආශාව ප්‍රහීන කොට ඇති හෙතමෝ, බෞද්ධ දර්ශනය භාවිතා කරමින් තම ශාන්තබාවය සුන්දර සහ ආලවන්ත ලීලාවෙන් විදහා පාන්නේ බෞද්ධයෙකු ලෙස නොව පෙර දවස දඹදිව විමුක්තිය සොයා තම පාදයට කූඹීන් ඇතුළු කුඩා සතුන් පෑගී මියැදේ යැයි සිතා ඉන් මිදීම පිණිස පාර අතුගාමින් එහේ මෙහේ හෙළුවෙන් ඇවිද ගිය නිඝන්ටයින් සේය.

යහපාලනේ අධිකරණ සහ බුද්ධ සාසන කටයුතු පිළිබඳ වගකීම් දරන්නා අදෝමැයි යැයි ඔහුට එකත්පස්ව සිටින්නා වූ බොහෝ උපාසක උපාසිකාවන් සාදු කාර දී සිහි කරනු ඇති. අලුයම හෙලන කෙල පිඩක් තරම්වත් තමන්ට වටින්නේ නැති ඇමතිකම් දැරීම වූ කලී ඔහු හමුවේ ඔහුගේ නායකයින් පටවා ඇති අතිරේක වගකීමක් මෙන්ම අමතර බරකි. එවැනි උජාරු කතා තම දෙකනට ඇසෙන මොළේ ඇති නායකයෙක් ඇත්තේ නම්, ඔහුට එම අලුයම හෙලූ කෙල පිඩ හැකි වාහාම හෙලීමට ඉඩ ලබා දිය යුතු නොවේද? එසේ හෙළා තම “පෞද්ගලික මතය” ඕනෑ තැනක කැමති හැඩයකින් හෙළීමට අවැසි පසුබිම සකස් කළ යුතු නොවේද?

ඇවන්ට් ගාඩ් සම්බන්ධ වූ කාරණය, විවිධ පැති මානයන් වෙත ගමන් කරන අයුරු මෙන්ම එහි අධිපතිතුමෝ අසනීප තත්වයේ හිඳිමින් එයද නොසලකා විවිධ ගිවිසුම් වලට අදාළ ලේඛණ හෙළිදරව් කරමින් සිටින ආකාරය දැක ගත හැකිය. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමින් මෙහිදී මතුවන කරනා කිහිපයක් මතු කිරීම කාලෝචිත යැයි සිතේ.

අදාළ සමාගමින් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් සහ වෙබ්අඩවි වෙතොත් ඔවුන්ගේ බලපත්‍ර තහනම් කරන බවට වූ ගෙරවිල්ල බොහෝ කතාබහට ලක්විය. මෙරට විනයක් ඇති දේශපාලඥයින් අතලොස්ස අතරින් එක් ප්‍රධාන අයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා එවැන්නක් සඳහන් කිරීම, සැබවින්ම අවසනාවන්ත බව අපේ හැඟීමයි. මෙය සැබවින්ම එකල රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිටි බොහෝ අයවලුන් රාජපක්ෂ මහතාගේ මෝහ දේශපාලන චින්තනයට සහ අවනීත කටයුතු වලට එරෙහි වන විට කොටින්ගෙන් මුදල් ගන්නේ යැයි කීම හා සමාන කරමින් ඉදිරිපත් වූ අදහස මෙහිදී බැහැර කළ නොහැකිය. මෙවැනි කාරණා සිදු වී ඇත්තේ නම් එවැනි දෑ ඔප්පු කිරීම සහ නීතිය නිවැරදිව ඉටු කිරීම විනා කටමැද දෙඩීම හිතකර නොවේ. මූලික නීතිමය වටපිටාවෙන් බැහැරට ගොස් වැදගත් කාරණා හුදු ඕපාදූප බවට පත් කිරීම, නවතා දැමිය යුතු මූලික කාරණයකි.

කෙසේ වෙතත් මෙහිදී මතුකළ යුතු මුලික කාරණයක් තිබේ. එනම්, ආයතන ප්‍රධානියෙකු ලෙස නිස්සංක සේනාධිපති මහතාගේ හැසිරීමයි. ඔහුගේ ප්‍රකාශවලට සහ ඔහුගේ ප්‍රකාශකයින්ගෙ ප්‍රකාශවලට අනුව අහිමි වී ඇති රැකියා ප්‍රමාණය දහස් ගණනකි. ඒ ආණ්ඩුව කළ වැරදි කැත වැඩක් හේතුවෙන් යැයි ඔහුගේ මතයයි. ආණ්ඩුවේ වැරදි ඉදිරියට දමමින්, ඔහුට විශාල අනුකම්පාවක් ලැබී තිබේ. කිසිවෙකු කම්කරු උසාවියට හෝ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග සිහිනෙන්වත් නොගැනීමට අවශ්‍ය සානුකම්පිත වටපිටාව නිර්මාණය කොට ඇත.

කුමන ගිවිසුම අත්සන් කළද, ආයුධ පරිහරණයේදී අනාරක්ෂිත සහ සැකයට තුඩුදෙන කාරණයක් සිදු වී ඇත්තේ නම් ඒ ගැන පරීක්ෂණ කිරීම ආණ්ඩුවේ වගකීමයි. එය මෙහෙයවීම සේනාධිනායකයාගේ වගකීමයි. මහනුවර නෞකාව මෙරට මුහුදු තීරණයට ඇතුළු වීමේදී ඉදිරිපත් කළ අසත්‍ය කාරණා, නාවික හමුදාවට ක්‍රියාමාර්ග ගැනීමට හැකි සහ ගත යුතු මුලික පදනම සකස් කළේය. මෙම මුලික පසුබිම කපටිලෙස වෙනස් කරමින් අදාළ නැති සංවේදී කාරණා ගැන කතා කිරීම දැක ගත හැකිය. මෙහිදී අමතක නොකළ යුතු කාරණය වූ කලී, යුක්තිය ප්‍රමාද වීම වූ කලී යුක්තිය ප්‍රතික්ෂේප කිරීමයි. බොහෝ දෙනෙකුගේ වැදි බණ සහ විතණ්ඩ තර්ක තුළ මෙම කාරණයේදීද මෙම තත්වය සිදු වුවහොත් පුදුම නැත. එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනර්ඝ වූ අධිකරණ ඇමතිවරයෙකු සේම කටුස්සෙකුමෙන් රඟන කැබිනට් මණ්ඩල ප්‍රකාශකයෙකු ආණ්ඩුව තෝරාගෙන තිබේ. අධිකරණ ඇමතිවරයාට අනුව සේනාධිපති ඔහුගේ ඉතාම කුළුපඟ මිත්‍රයෙකි.

යහපාලනය, මහින්ද චින්තනය සමග යාවෙමින් තිබෙන්නේද?

රියර් අද්මිරාල් ට්‍රැවිෂ්ගේ ආගමනය

හිටපු හමුදාපතිවරෙයෙකුගෙන් තම පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් සගයින් ඉදිරියේ බඩට ගුටි කා කුණු වූ නිලධාරීවාදය හමුවේ ගොදුරක් බවට පත් වූ, රියර් අද්මිරාල් ට්‍රැවිශ් යළි නාවික හමුදාවට සම්බන්ධ විය. ඒ මීට දෙසතියකට පෙරය. මේ වන විට, ඔහු නාවික හමුදා මුලස්ථානයට අනුයුක්තව කටයුතු කරන මුත් ඔහුට හිමි තනතුර ගැන තවමත් තීරණයකට පැමිණ නැත. අදාළ කාරණය සම්බන්ධයෙන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන ආකාරය දැක ගත හැකිය. නාවික හමුදාපතිවරයාට තම සගයා සහ ඔහු කළ උදාර සේවය ගැන මනා අවබෝධයක් තිබේ. එකල කොටි සංවිධානයේ, මුහුදු කොටින්ට අයත් නෞකා සහ පාවෙන ආයුධ ගබඩා විනාශ කිරීමේ අතිශය භාරදූර කටයුත්තක නිරත වූ හෙතම, මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් සිදු කළ නිලධාරියෙකි.

යුද්ධයෙන් පසු ගෙවී ගිය වසර කිහිපය පුරා දේශපාලනික කාරණා මුලික කරගනිමින් කුණු වී ගිය නාවික හමුදාවේ කීර්තිය යළි ඇති කිරීම සඳහා රවී – ට්‍රැවිශ් සුසංයෝගය මහෝපකාරී වීම අවිවාදිතය. ඊට අවැසි පාරිසරක තත්වය, හැකි වහාම නිර්මාණය වේ යැයි විශ්වාස කරන්නෙමු. ඒ වෙනුවෙන් සුබ සිහින දකින්නෙමු. දේශපාලන පළිගැනීම් වලට ලක්වූ යුධ හමුදාවේ නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමේදී සිදු වූ කණගාටුදායක අත්වැරදී මෙහිදී සිදු නොවේවා යැයි ප්‍රාර්ථනය කරන්නෙමු.

– ශ්‍රී ලංකා ගාර්ඩියන්

Back to Top