Sri Lanka Brief
පුවත්විවරණමාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

by

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක අතීතයේදී අසමත්  වූ කාරනා මනා ලෙස අධ්‍යනය කොට, අතීතයේ සිදු වූ ගරාවැටීම් යළි සිදු නොවීමට මනා සැලැස්මක් අත්‍යවශ්‍යය වේ.

රටක පාලනයට පත්වන ඕනෑම පන්නයේ නායකයෙකු තමන් අසමත් වූ නායකයෙකු ලෙස ධූරයෙන් නික්ම යෑම තම අපේක්ෂාව නොවේ. අසමත් වීම, ඔහු/ඇය සිහිනයකිඳු නොසිතන්නේය.  ඔහු හෝ ඇය, අසමතෙකු බවට පත් කරනු ලබන්නේ, තම පෞද්ගලික දුර්වලතාවයන් මගින් ඉගෙන නොගැනීම සහ තමන් වටා ඒකරාශී කරගන්නා  අයවලුන් තමන් අසමතෙකු බවට පත් කිරීම මගිනි. මෙරට බොහොමයක් නායකයින් මුහුණ දුන් කටුක යතාර්ථයක් වූයේ තමන් වටා ඒකරාශී කරගත් ආලපාළුවන් බලය අනිසිලෙස භාවිතා කොට නිසිකල එළැඹි කළ, දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ ගොදුරු බවට පත්කර ගැනීමය. මෙය, හැංගි හොරා කිව යුතු දෙයක් නොවේ. නායකයා දුර්වලයෙකු ලෙස අවබෝධ වූ විගස, ඔහු වටා ඒකරාශිවන හොරුන් සහ අවස්ථාවාදීන්ගේ ප්‍රමාණය ඉහළ නගී. ඉන් පසු නායකයාගේ “මට සිලිටු” උඩඟුකම වීරත්වයක් ලෙස හැඩ ගන්වා ඔහු වෙනුවෙන් ප්‍රසස්ති ගී ගයයි. ගීතිකා ලියවෙයි, තවත් බොහෝ දෑ මතුපිටින්, මධ්‍යයෙන් මෙන්ම සංඛේතීය ලෝකයට යටින් සිදු වේ.

කෛරාටක අවස්ථාවාදියාගේ  මුලික උපාය වූ කලී, නයකයාට සත්‍යය අවබෝධ කරගැනීමට ඇති ඉඩ ඇහිරීමය. එය ඇහිරිය හැක්කේ නායකයාට නිදහසේ සිතීමට කාලය අවම කිරීමෙනි. ඔහුගේ කාලය බොරු-බේගල්, සම්ප්‍රප්පලාප මෙන්ම ප්‍රසස්ති ගී වලින්  පිර වූ පසු, නායකයා, අවිද්‍යාවෙන් සහ මෝහයෙන් පිරිණු, සැකයෙන් පසුවන්නෙකු බවට පත්වේ. එවැනි තත්වයකට පත් වූ පසු, ඔහු හෝ ඇය, මංමුලා කිරීම අතිශය පහසු වේ.

තම දුර්වලතාවයන් නැති කළ හැක්කේ, ස්වාධීනව සිතා කටයුතු කිරීමෙන් මිස, අනෙකා මත පිහිටා තීරණ ගැනීමෙන් නොවේ. තම ස්වාධීන තීරණ, ස්වාධීන සහ අව්‍යාජ මිනිසුන් ඉදිරියේ විවෘතව කතාබහට ලක් කිරීම සහ ඒ ඔස්සේ තීරණ ගැනීම නායකත්වයක තිබිය යුතු ගුණාංගයක් වේ. එය එසේ සිදු නොවන විට, බොහොමයක් අව්‍යාජ මිනිසුන් වේදනාවට පත් වෙති. භූමිය හැරදා පලා යති. බුද්ධිය භූමියෙන් අතුගෑවෙයි. බුද්ධිමතුන් නිහඬ වෙති. ගිජු පිසාචයින්ගේ ආක්‍රමණය සිදු වේ. නායකයා අප්‍රසන්න අසමතෙකු බවට පත් වී, රට තුළ ප්‍රතික්‍ෂේප වේ. මෙය තේරුම් ගැනීමට, විශාල ඉතිහාසයක් පරිශීලනය කිරීම එක් උපායකි. නමුත් සරල සහ සුනම්‍ය ආකාරයෙන් අව්‍යාජව තමන්ට විවේකීව ඇහුන්කම් දීමේ පුරුද්දක්, නායකත්වයට තිබේනම්, මෙම සරල ඇත්ත තේරුම් ගත හැකිබව කියවෙයි. ගෞතම බුදුන්ගේ කාලාම සුත්‍රය මෙම ගැඹුරු මානුෂීය කාරණය වඩාත් පැහැදිලිව විස්තර කොට තිබේ.

රටේ පවතින වත්මන් තත්වය, ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සිහින සහ රටේ සාමන්‍යය ජනතාවගේ අපේක්ෂාවන්, ඉටුවීම සහ ඉටුනොවීම රඳා පවතින්නේ මෙම මුලික කාරණය ඔස්සේ යැයි සිතේ.

නායකයෙකු පහළ වූ විට, විවිධ සටකපට විචාර හෙළමින්, ඔහු හෝ ඇය හොල්මන් කිරීම මෙරට ඇතැම් අයවලුන්ගේ ජන්ම පුරුද්ද වී තිබේ. අමාත්‍යවරුන් වන, විජේදාස රාජපක්ෂ මෙන්ම තිලක් මාරපන, පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සහ ඊයේ පැවති සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ඉදිරිපත් කළ සහ ඉදිරිපත් කළේ යැයි කියන කරුණු සැලකීමේදී පෙනී යන මූලික කාරණය මෙයයි.

 මාරපන, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් මතු වී ආ කාරණය, අතුරුගිරියේ මිලේනියම් සිටි හී පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා බුද්ධි අංශයේ ආරක්ෂක නිවහන හෙළිදරව් කිරීම හා සමාන පාවාදීමක් බව කිව්වේය. ඔහු එසේ කියන විට, එකල ආරක්ෂක ඇමති ධූරය හෙබවූ පුද්ගලයා තමන් බව අමතක කළ සැටියෙකි. ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී, ප්‍රසිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

නමුත්, ඇමති මාරපන, මිලේනියම් සිටි සමග ඇවන්ට් ගාඩ් ගැලපීම මුලික අපවාදයක් පමණක් නොව සමස්ථ රටටම කළ බරපතල හානියකි. කෙසේ වෙතත්, ඇවන්ට් ගාඩ් සමාන කළ හැකි  කාරණයක් තිබේ. ඇමති මාරපනට තම මීළඟ කතාවේදී එය උපුටා දැකිවිය හැකිය. එනම්, මුහුදු කොටි සිටින අවදියේදී, කුමාරන් පද්මනාදන් සහ සුසෙයි එක්වී ඔවුහු “පාලනය” කළ භූමියට ආයුධ ප්‍රවාහන කිරීමේදී අනුගමනය කළ මූලිකාංගයන් වලටය.

ලංකාව සම්බන්ධයෙන්, ගතු කියමින්,  රටේ 50,000 කට ආසන්න පිරිසක් සිටින නාවික හමුදාවට තම රාජකාරිය ස්වාධීනව කරගෙන යෑමට ඉඩ නොදෙමින්, මෙරට නැති අනාරක්ෂිත තාවයක් මතු කොට, තම පෞද්ගලික ආසාවන් වෙනුවෙන්, ජාත්‍යන්තර ප්‍රජාව මුලාවට පත් කළ පසුබිමක් ඇති ආයතනයක් වෙනුවෙන්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට, කැබිනට් අමාත්‍යධූරයක් ලබා දුන් පුද්ගලයෙකු පෙනී සිටීම, යහපාලනයේ දැකිය හැකි යමපාලනයේ අරුමයමැයි. මෙය සරල සිංහලෙන් කිවහොත්, මජර පාලනයක් වෙත ගමන් කිරීමේ රෝග ලක්ෂණයකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය විසින්, අප්‍රිකානු මුහුදේ ආරක්ෂක තත්වය ගැන සිදුකළ පර්යේෂණ වාර්තාවට ලංකාවේ තිබු ආයුධ අතුරුදන් වී ඒවා එක්තරා රටක අහවල් වරායකින් හමුවීම ගැන ගතු කියමින්, ලංකාව ගැන අතිශය අනාරක්ෂිත නිවේදනයක් පල කරගෙන තම ව්‍යාපාරයට අවශ්‍ය පසුබිම සකස් කරගත් පුද්ගලයෙකු, මිලේනියම් සිටි හී සිටි සැබෑ මිනිසෙකුට සමාන කිරීම, කළ හැක්කේ මොළේ අමාරුවක් ඇති අයෙකුටය. මේ ගැන මාරපන ඇමතිවරයාට වැඩි විස්තර අවශ්‍යය වන්නේනනම්, දූෂිත නින්දෙන් අවදි වී, ඉතිහාසය නිවැරදිව කියවන, ලෙස ඉල්ලා සිටිමු. නව ආණ්ඩුවක් පත්කර ගනු ලැබුවේ මෙවැනි, බේගල් වලින් රටේ කාලය නාස්ති කිරීමට නොවේ. “හැකිනම් කරනු හරියට, බැරිනම් පලයන් නොකියම”, යන සම්ප්‍රදායික වහර මෙහිදී කිසිවෙකුට අමතක කළ නොහේ.

අනෙක් පසින්, අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරන, ද්විත්ව අචාර්ය, විජේදාස රාජපක්ෂගේ අනාචාර්ය කතාවයි. ඔහු කියන හැටියට, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම නවතා ඇත්තේ ඔහුය. ජනාධිපති සහ අගමැති නීතිය නිවැරදිව අනුගමනය කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නද තමන්, හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩනොදුන් බව සඳහන් කළේය.

එසේ කියන ඔහු මෙසේද කියන්නේය;

“ අත්තනෝමතික නීති ක්‍රියාත්මක වීමක් අද නැත. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව අද ස්වාධීනයි. දේශපාලන ඇඟිලි ගැසීම් නැත. එහි ස්වාධිනත්වය පිළිබඳ වගකීම මා සතුයි.එදා මෙන් නොව අද, ඔවුන්ගේ මත, ක්‍රියාකාරිත්වයන් අපට දේශපාලන වශයෙන් අවාසි සහගතයි. එහෙත් පෙර මෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන්ට අප ආණ්ඩුවක් ලෙස අත පෙවීම් නොකරමු. අද මේ සියලු ආයතන ස්වාධින කොමිසන් සභා යටතේ පාලනය වෙනවා.”

යහපාලනයේ මතුපිට පාවෙන යමපාලනයේ දෙවන අරුමය එයයි. මෙසේ කියන මෙම ඩබල් ඩොක්ටර් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම අවහිර කළ බව කියන්නේය. ලෝකයේ කුමන, නීති න්‍යායට අනුව, ඔහු මෙසේ කියන්නේද? අධිකරණ ඇමති ලෙස මෙම මුලික “නොපැහැදිලි” කාරණය, රට හමුවේ පැහැදිලි කරන්නේ නම් ඉතා අගනේය.

ඇමතිවරයාට අනුව, ආරක්ෂක  අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා බේරී සිටින්නේ ඇමතිවරයා නිසාය.  හිටපු ලේකමවරයා රට වෙනුවෙන් ස්වාධීනව කටයුතු කළ අයෙකුනම්, මේ අවස්ථාවේදී සිදුකළ යුතු ප්‍රකාශයක් තිබෙන සැටියෙකි.

මෙවැනි කෛරාටක සහ අප්‍රසන්න දේශපාලඥයින්ගේ මීළඟ සැලසුම, නාවික හමුදාපතිවරයා සහ ස්වාධීන බුද්ධිමතුන්, අදාළ සමාගම සම්බන්ධයෙන් පවත්වාගෙන යන පරීක්‍ෂණය කඩාකප්පල් කොට තම ස්වාමියා ආරක්ෂාකර ගැනීමය.මෙහිදී පැනනගින මුලික ගැටලු කිහිපයක් තිබේ. යහපාලනයේ ඇමතිවරුන්ට, අධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ හැක්කේ කෙසේද? එවැනි බලයක් පවරා තිබේද? එසේම, යම් කාරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන විට, ඒ ගැන, රටක පාලක ආණ්ඩුවේ, පුද්ගලයෙකුට පක්ෂග්‍රාහීව කතා කළ හැක්කේද? මොවුහු, ළමා කටයුතු පිළිබඳ ඇමතිවරුන් නොවේ. නීතිය, සාමය, අධිකරණ සහ බුද්ධසාසන යන ක්ෂේත්‍ර වල වගකීම භාරගෙන සිටින ඇමතිවරුන්ය.

මෙම කාරණය හමුවේ, ජනපති, අග්‍රාමාත්‍ය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම විපක්ෂ නායක, යන අයවලුන්ට ජනතාව වෙනුවෙන් කළ හැකි ප්‍රමුඛ කාරණය වන්නේ, ව්‍යවස්ථාව නිවැරදිව පරිශීලනය කිරීම සහ එහි මූලධර්මවලට එරෙහිව කටයුතු කරන අයවලුන් ගැන මනා පරීක්ෂාවෙන් සිටීම සහ ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමය.  හුදු දේශපාලනික කාරණා ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍ර විනිශ්චකාරවරිය, දෝෂාභියෝගයක් ඔස්සේ තම ධූරයෙන් එළියට ඇද දමනු ලැබූ ඉතිහාසයක් ඇති අපට, රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාරණා ගැන කටමැත දොඩවන “ජනතා නියෝජිතයින්” හමුවේ එය සිදු කළ යුතු වට පිටාවක් තිබේද? එය සැබෑ පාලකයාගේ වගකීම නොවන්නේද?

 රටේ සාමන්‍යය ජනතාව වන අපි; හොරුන් හදන, හොරුන් නලවන, හොරුන්ගෙන් රැවටෙන, හොරුන්ගෙන් ප්‍රමෝදය ලබන, හොරුන්ගේ නිජ බිමක, හුදු විෂයයන් බවට පත්  වූ කාලය නිමා කළ යුතු නොවේද?

යහපාලනයේ, පාලකවරුනි, දුගී ජන පාලිතයින් වන අපෙන් කෙරන කාරුණික ඉල්ලීම එයයි!

 

Back to Top