Sri Lanka Brief
පුවත් විශේෂාංගවිවරණදේශපාලනික පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන්ට, මෛත්‍රී යුක්තිය ඉටුකරයි ! – නිලන්ත ඉලංගමුව

දේශපාලනික පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන්ට, මෛත්‍රී යුක්තිය ඉටුකරයි ! – නිලන්ත ඉලංගමුව

by
photo_Sri_Lanka_Police

මෙන්දක සමරසිංහ මහතාට මෙන්ම සුසිත් වීරසේකර මහතාට අයුක්තියක් සිදුනොවුණේ නම්, ඔවුන්ගේ ගෞරවාන්විත සේවාවන්වල නායකත්වයට පත්වීමේ අවස්ථාවක් තිබුණි. ඔවුහු, තම රාජකාරිය මැනවින් ඉටුකළා පමණක් නොව තම ගෞරවය රැකගැනීමටද සමත් වූ නිලධාරීන් වූහ. ඔවුහුට, මේ ආකාරයෙන් හෝ යුක්තිය ඉටුවීම පැසසිය යුතු කාරණයක් වන නමුත්, සිදුවීම් තුළ ලියවෙන සහ නොකියවෙන කටුක යථාර්තයන් රාශියක් තිබේ. හොඳ මිනිසුන්ගේ සේවය රටට අහිමි වීම, මාතෘභූමියට මුහුණදීමට සිදුවන බරපතළම සහ අවාසනාවන්තම කාරණය වේ.මෙහිදී පළිගැනීමට ලක්වූ නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සහ ඔවුන්ගේ වයස සීමාව සලකා ඔවුහුගේ විශ්‍රාමික නිලය උසස්කොර වරප්‍රසාද ලබාදීමෙන් පමණක් මෙම බරපතල කාරණයට යුක්තිය ඉටු නොවේ. එනම්, මෙවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු වේ.


නිලන්ත ඉලංගමුව

ස්ව-මුලාවෙන් මිදීම තරම් කිසිවක් අමාරු නැත – ලුද්විග් විට්ගේන්ස්ටයින්

යුද්ධයේදී ඇතැමෙක් යුද්ධ කළෝය. රටේ අනාගතය ගැන මෙන්ම තම ශුද්ධ ආත්මාභිමානය ගැන තැකූහ. එමෙන්ම රටේ ඉදිරිය ගැන මෙන්ම රටේ භූගෝලීය පිහිටීම අනුව රට හමුවේ ඇති සැබෑ අභියෝග ගැන සිහිණුවනින් කල්පනා කොට කටයුතු කරනු ලැබුහ. ඔවුන්ගේ ප්‍රමාණය ඉතා කුඩා වුවද ඔවුහු තම රාජකාරිය මැනවින් ඉටු කළහ. අපි භුක්තිවිඳින “සාමයේ” අරුත සොයා දුන්නේ ඔවුහුහ.

මේ අතර, තවකෙක් මාධ්‍ය සංදර්ශන පවත්වනු ලැබූහ. තම යුධ ශිල්පය භූමියට වඩා මාධ්‍යය තුළ ස්ථාවාර කළ යුතු යැයි ඇතැමෙකු කල්පනා කරනු ලැබුහ. ඔවුහු ක්‍රමිකව ප්‍රසිද්ධියට පත් වූ අතර රටේ ජනතාව ඔවුහු වෙනුවෙන් බෝධිපූජා පැවැත්වීමේ සිට කළ හැකි සෑම කටයුත්තක්ම කරනු ලැබූහ. එකී මාධ්‍යසංදර්ශන පවත්වනු ලැබූ නිලධාරීන් වර්තමානයේ ගෙන ඇති ස්ථාවරයන් සහ ඔවුහු යුද්ධයෙන් පසු තම පෞද්ගලික සමෘද්ධිය ක්‍රමිකව අත්පත් කරගත් අකාරය වූ කලී මානව පරිණාමයේ අමුතු ආශාවන් නීරීක්ෂණය කළ හැකි අත්දැකීමක් වේ. එහි වන්දිය විවිධ වාර්තා මඟින් මේ වන විට ප්‍රසිද්ධ වෙමින් තිබේ.

දශක තුනකට ආසන්න සිවිල් යුද්ධයෙන් මෙන්ම එය අහවර කිරීමෙන් පසු ගත වූ වසර හයකට වැඩි කාලය තුළ ජයග්‍රහණය මෙන්ම පරාජය දේශපාලනීකරණය වූ ආකාරය නීරීක්ෂණය කිරීමෙන් පෙර කී මූලික කොටස් දෙක පැහැදිලිවම හඳුනා ගත හැකි වේ.

President_attends_25th_General_Convention_of_the_KDU_20151020_06p8

එම කොටස් දෙක අතරට මැදිව සිටින දෙමුහුන් කොට්ඨාශයක්ද වේ. නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව ප්‍රතික්ෂේප කළ හොරුන් සහ අසමතුන් පෑළ දොරින් ගෙට වද්දා ගන්නා විට, තමන්ට වෙනත් විකල්පයක් නැතැයි, දේශපාලන වෙනසේ ගාමක බලවේගය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළ අදහස මෙම දෙමුන් කොටස පිළිබඳව කියවෙන්නකි. කුමන වෙනස සිදුවුණත් තම ස්ථාවරය සහ පැවැත්ම රැක ගැනීමට ජන්මයෙන් පුරුදු වූ පිරිසක් මෙරට සිටිති. මෙරට තානාපති සේවය මීට කදිම නිදසුනකි. එසේම බොහොමයක් ක්ෂේත්‍රවල මීට උපන් හපන් පිරිස් දැකගත හැකිය.

මෙහිදී යළි යලිත් මතක් කළ යුතු යැයි සිතෙන කාරණයක් තිබේ. එනම්, යුද්ධය වූ කලී කිසිවෙකුගේ කැමති තෝරා ගැනීමක් නොවේ. එය ගැඹුරට විහිදී ගිය සමාජීය රෝගවල රෝග ලක්ෂණයන්ය. එවැනි රෝගලක්ෂණ පහල වූ විට එය දඩ මීමාකරගෙන තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා පිරිසක් බිහි වේ. එම කොටස, අදාළ රෝගලක්ෂණ වලින් බරපතල ලෙස පීඩා විඳින බහුතර ජනතාව තලාපෙලා දැමීමට සමත් කොටසක් වෙති. රෝගයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ මුලික අභිප්‍රාය වේ. මන්ද තම යැපීම ඇත්තේ එතැනය.

පශ්චාත් යුධ සමයේදී දෙමළ ජනතාව අතර ඔවුහු මුහුණ දුන් බරපතළ සමාජීය කාරණා සහ වත්මන් අභියෝග සම්බන්ධයෙන් වූ කාරණයද මේ හා සමාන වේ. ඔවුන් මුහුණදුන් අසාදාරණය දඩමීමා කරගැනීම සහ රටේ සැබෑ ගැටලු වෙනතකට හැරවීම වර්තමානයේ වඩාත් සුලභව දැක ගත හැකි කාරණය වේ. විනිසුරු විග්නේශ්වරන් වැනි දේශපාලනඥයින්, උතුරේ දෙමළ වාර්ගික ධීවරයින්ගේ මත්ස්‍ය ගහණය , ඉන්දීය ධීවරයින් විසින් කොල්ලකන විට ඊට එරෙහිව කටයුතු කරන, සිංහල වාර්ගික නාවික සෙබළුන්, ගැන කිසිවක් නොකියා, තමිලිනි වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිරීම, සැබවින්ම කුහකකම මිස වෙනත් කිසිවක් නොවේ. තමිලිනි තම වර්ගයට කළ සේවය හෝ පාඩුව ගැන පෞද්ගලික ස්ථාවර ගැනීමට ඕනෑම අයෙකුට අයිතිය තිබේ. නමුත් රාජ්‍යයේ සහ අසරණ මිනිසුන්ගේ ප්‍රකාශකයෙකු මෙන්ම නියෝජිතයෙකු ලෙස පෙනීසිටින්නෙකුට, තම බලය පෞද්ගලික ආශාවන් වෙනුවෙන් ලඝු කළ හැකිද යන්න ගැටලුවකි.

වර්තමානයේ සාමාන්‍ය දෙමළ ජාතිකයින් මුහුණදෙන ගැටලුව ගැන සැබෑ අවබෝධයක් ඇත්තේ කුමන පාර්ශවයටද යන්න මතුවෙමින් පවතින මුලික ගැටලුවකි. මෙම ව්‍යාකූලතාවය සැබවින්ම හානිදායක ප්‍රවණතාවයකි. මෙම කාරණය කෙරෙහි බරපතල අවදානයක් යොමුවීම මෙන්ම පීඩාවට පත් වූ සාමාන්‍ය ජනතාව එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන ආශාවන් වෙනුවෙන් යළිත් පාවිච්චි කිරීමට ඇති අවකාශය ඇහිරිය යුතු වේ.

මෙය මනා සිහියෙන් කළ යුතු සංහිදියාවේ කොටසකි. රෝගලක්ෂණ නැසීමට හවුල් වූ අවංක පිරිස් වර්තමානයේදී කල්පනා කළ යුත්තේ රෝගය නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය සැබෑ දේශපාලන ක්‍රමවේදය තෝරා ගැනීමය. එය හිතාමතා කරන යටපත් කිරීම මඟින් හෝ කුහකකමෙන් කළ නොහැකි බව ඉතිහාසය විසින් නොකඩවා ඔප්පුකළ කාරණයක් විය.

පළිගැනීමට ලක්වූ නිලධාරීන් වෙනුවෙන් යුක්තිය

වත්මන් ආණ්ඩුව සහ ආරක්ෂක අමාත්‍යංශය වටා සිදුවන සිදුවීම් දාමය නිරීක්ෂණය කිරීම වැදගත් වන්නේ මෙම සන්දර්භය යටතේය. සැබවින්ම වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරන සැටියෙකි.

වසර ගණනාවක් තිස්සේ දේශපාලන ආසාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කුණු කරනු ලැබූ අමාත්‍යංශයක් ක්‍රමයෙන් ඉන් මුදාගෙන රාජ්‍යය පරිපාලනයේ පරිපාලනමය ඒකකයක් බවට පත්කිරීම අතිශය බැරෑරුම් කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය කණාමුට්ටි බිඳීම වැනි සෙල්ලමක්, තම රාජකාරියේ උපායබවට පත්කර ගැනීමෙන් කළ නොහැකිය. අවසනාවට මෙන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂක අමාත්‍යංශයට පත් කරනු ලැබූ පළමු ලේකම්වරයා වූ බස්නායක මහතා නිරත වූයේ එවැනි උපායශීලී සන්දර්ශනයකය. එය අසමත් එකක් වූවා පමණක් නොව බොහොමයක් ආරක්ෂක අංශ නිලධාරීන් ඉන් මහත් අපහසුතාවයට පත්වූහ.

ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යම්කිසි ධනාත්මක වැඩපිළිවෙලක නිරත වී සිටින සැටියෙකි. එහි, එක්මුලික පියවරක් ලෙස, ඇවන්ට් ගාඩ් සමාගම විසින් ඇතිකරනු ලැබූ අර්බුදය නිරවුල් කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා හට ලබාදෙන සහයෝගය ඉතා අගය කළ යුතු කාරණයකි. නාවික හමුදාපති රවී විජේගුණරත්න මහතා, තමන්ට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම කාරණය සමබන්ධයෙන් ලැබෙන සහයෝගය, අගය කළ මාධ්‍යය වාර්තා ප්‍රසිද්ධ විය. එය යහපත් කාරණයකි. කකුලෙන් අදින්නන් වෙනුවට රටේ බරපතල ගැටලු වලට උරදී රටේ ගෞරවය රකින්නන් අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි දෑ ප්‍රසන්න අත්දැකීම් වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුවන දේශපාලන සහ අදේශපාලනික කාරනා රාශියක් තිරය පිටුපස සිදුවෙමින් තිබේ. මුදල් හමුවේ තම කෞශල්‍ය, අයිතිය, මෙන්ම ගරුත්වය උකස් කරන පිරිස් අඩු නැත. අයුක්තියට මෙතරම් දුරක් මෙතරම් වේගයෙන් යා හැක්කේ මේ නිසාය.

වයිස් අද්මිරාල් රවී, ප්‍රභල අභියෝගයක් තම දෑතට ගෙන රටේ මෙරට සාමන්‍යය වැසියන්ගේ අනාගතය තහවුරු කිරීම සඳහා සිහි නුවණින් කටයුතු කරන සැටියෙකි. විශ්‍රාමික අද්මිරාල් දයා සඳගිරි මහතාගෙන් පුළුල් ලෙස ආරම්භවී විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගෙන් අවසන් වූයේ යැයි අනාගතයේදී ලිවීමට හැකි, නාවික හමුදාවේ දේශපාලන ආවතේවකරුවන්ගේ ඉතිහාසය ලිවීමට අවශ්‍ය පසුබිම සකස්වන සැටියෙකි. එම සිහිනය සැබෑ කිරීම හෝ කුණුකොට යළි අප්‍රසන්න තත්වයක් ඇතිකිරීමේ සම්භාවිතාව, බලය සහ නිලය දරණ සියල්ලන්ගේම වගකීම සහ වුවමනාව මත තීරණය වනුඇත. රටේ සාමන්‍යය ජනතාවට අවශ්‍යවන්නේ ගෝත්‍රිකවාදී දේශපාලනය නොව, වර්තමාන ලෝකයට සරිලන පරිදි නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරුකෙරෙන ගෞරවාන්විත ජීවිතයකි. පසුගිය වකවානුව තුළ විවිධ දේශපාලන හිංසනයට ලක් වූ ආරක්ෂක අංශ නිලධාරීන්ට අවශ්‍ය වන්නේද එයයි.

මෙම වටපිටාව හමුවේ, දේශපාලන පළිගැනීම් වලට ලක් වූ ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් පත්කළ කමිටුව සකස්කරනු ලැබූ වාර්තාවට සහ එම වාර්තාවෙන් ඉදිරිපත් කළ නිර්දේශයන්ට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සැලවේ.

මෙය ඉතා යහපත් කාරණයක් වන අතර, විවිධ හේතු ඉදිරිපත් කරමින් යට ගැසීමට උත්සහ කළ අදාළ වාර්තාව කෙසේ හෝ කරලියට ඒමත් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමත් අගයකළ යුතු වේ. ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයා දැක්වූ සහයෝගය මෙන්ම ඔහු වඩාත් නිරවුල් බසින් අදාළ නිදේශ සම්බන්ධයෙන් සඳහන් කොට ඇති ලිපිය තීරණාත්මක එකක් වේ. එම ලිපියෙහි පරිවර්තන හෝ අනුවර්තනවල කොටස් මෙවලමක් ලෙස භාවිතා කරමින්, අසාදාරණයට ලක් වූ නිලධාරීන්ට හිමි අයිතිය විනාශ කිරීමේ වසල කටයුත්තක නිරත නොවීමට අවශ්‍ය පසුබිම ඇතැම් නිලධාරීනට සකස්වනු ඇතැයි සිතන්නෙමු.

වසර ගණනාවක් තිස්සේ හිරිහැරවලට මුහුණ දීමෙන් පසු තමන්ට සාදාරණය ඉටුවීමට නියමිත බව දැනගැනීමට ලැබීමෙන් බොහොමයන් නිලධාරීන් සතුටට පත්වී සිටිති. බලෙන් විශ්‍රාම ගන්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ යුධහමුදා නිලධාරීයෙකු මෙම ලියුම්කරු සමග කියා සිටියේ, මෙවැනි පුවතක් දැනගැනීමට ලැබීම තම මුළු පවුලේම සතුටට හේතුවන බවත් එමඟින් දේශපාලන කල්ලිවාදය විසින් කැතකරනු ලැබූ තම නම පිරිසුදු වීම අභිමානයට කාරණයක් බවත්ය.

“ ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුවීම සැලකිය යුතු වැදගත් පියවරක්,” හෙතම මෙම ලියුම්කරු සමග සඳහන් කළේය.

ඒ අනුව නාවික හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකු, මෙන්ම යුධ හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය යළි පිහිටුවීමට සහ වයස් සීමාව ඉක්ම වූ නිලධාරීන්ට නියමිත ශ්‍රේණිය (නිලය) සහ විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද හිමිවීමට නියමිතය. නාවික හමුදාවේ, බලවත් අසාදරණයට ලක් වූ නිලධාරීන් අතර කොමෝදෝරු මනිල් මෙන්ඩිස් මහතා, රියර් අද්මිරාල් නිලයට උසස් කෙරෙන අතර, කපිතාන් සේනක හංවැල්ල මහතා සහ කොමොදෝරු ට්‍රැවිශ් සින්නයියා මහතා යළි සේවයේ පිටුවීමට නියමිතය. එසේම රියර් අද්මිරාල් සුසිත් වීරසේකර මහතා වයිස් අද්මිරාල් ධූරයට උසස් කොට අදාළ ශ්‍රේණියට හිමි විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ලැබෙනු ඇත.

කොමොදෝරු ට්‍රැවිශ්ගේ යළි ආගමනය, වියිස් අද්මිරාල් රිවිට පිටිවහලක් වනු ඇත. එය නොඉවසන පිරිස්, විවිධාකාරයේ කේලාම් මෙන්ම විවිධ දේශපාලන ගුණ්ඩු ඇටවීමේ සම්බාවිතාවක ලකුණුද පළහ වීමේ ඉඩකඩ තිබේ. ට්‍රැවිශ් වූ කලී වගකීමෙන් කටයුතු කරනු ලැබූ නිලධාරීයෙකු වූ අතර තනතුරු හඹා නොගියෙකි. වත්මන් නාවික හමුදාපතිවරයාට එවැනි නිලධාරීන් අත්‍යවශය වේ.

මේ අතර විශ්‍රාම ගන්වන විට, යුධමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් ඉවත් කොට ආරක්ෂක අංශ මාණ්ඩලික ප්‍රධානී මුලස්ථානයේ කාර්යමණ්ඩල ප්‍රධානී වූ, මේජර් ජනරාල් මෙන්දක සමරසිංහ මහතා, ලුතිනන් ජනරාල් ධූරයට උසස්කොට, ධූරයට හිමි විශ්‍රාම වැටුප සහ අනෙකුත් දීමනා ලබාදීමට නිමතය. එසේම, වයස අවුරුදු 55 සපිරුණු මේජර් ජනරාල්වරුන් වන ධම්මික ලියනගේ, දීපාල් අල්විස්, අතුල ජයවර්ධන, ලක්සිරි අමරතුංග, බ්‍රිගේඩියර්වරුන් වන සුමිත් පදුමදාස, අශෝක පාදෙණිය, පී. මිඩීන්, තම ශ්‍රේණියේ උසස්කොට නියමිත විශ්‍රාමවැටුප් සහ වරප්‍රසාද හිමුවනු ඇත.

මේජර් ජනරාල් මොහාන් ජයවර්ධන, බ්‍රිගේඩියර්වරුන් වන අනුර පෙරේරා, දම්පත් ප්‍රනාන්දු, අශෝක අමුණුගම, නිර්මාල් කොස්වත්ත, කර්නල් කපිල උදලුපොත, යන නිලධාරීන්ගේ සේවය යළි පිහිටුවනු ඇත. සේනාධිනායකයා ලෙස, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සේවය මෙහිදී අගයකළ යුතු වේ.

කෙසේ වෙතත්, මුලික වටයේදී සිදු වූ අත්වැරදි නොවීමට එනම් අදාළ නිලධාරීන් යළි සේවයේ පිහිටුවා ඔවුන්ගේ හැකියාවන්ට සරිලන පරිදි සේවා ස්ථානවලට යොමු කිරීම වැදගත් වේ. මුල් වටයේදී දැකගත හැකි වූයේ, සේවයේ පිහිටුවනු ලැබූ නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් තනතුරු ලැබුණු අතර අනෙකුත් නිලධාරීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටුණු තත්වයකට මුහුණ දීමටය. එවැනි තත්වයක් මෙහිදී ඇති නොවේවා යැයි, ප්‍රාර්ථනය කරමු.

සැබවින්ම මෙන්දක සමරසිංහ මහතාට මෙන්ම සුසිත් වීරසේකර මහතාට අයුක්තියක් සිදුනොවුණේ නම්, ඔවුන්ගේ ගෞරවාන්විත සේවාවන්වල නායකත්වයට පත්වීමේ අවස්ථාවක් තිබුණි. ඔවුහු, තම රාජකාරිය මැනවින් ඉටුකළා පමණක් නොව තම ගෞරවය රැකගැනීමටද සමත් වූ නිලධාරීන් වූහ. ඔවුහුට, මේ ආකාරයෙන් හෝ යුක්තිය ඉටුවීම පැසසිය යුතු කාරණයක් වන නමුත්, සිදුවීම් තුළ ලියවෙන සහ නොකියවෙන කටුක යථාර්තයන් රාශියක් තිබේ. හොඳ මිනිසුන්ගේ සේවය රටට අහිමි වීම, මාතෘභූමියට මුහුණදීමට සිදුවන බරපතළම සහ අවාසනාවන්තම කාරණය වේ.

මෙහිදී පළිගැනීමට ලක්වූ නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සහ ඔවුන්ගේ වයස සීමාව සලකා ඔවුහුගේ විශ්‍රාමික නිලය උසස්කොර වරප්‍රසාද ලබාදීමෙන් පමණක් මෙම බරපතල කාරණයට යුක්තිය ඉටු නොවේ. එනම්, මෙවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු වේ.

දැනටමත් සිදුකොට ඇති පරිදි, එය කළ හැකි මුල් පියවර වන අදාළ නිලධාරීන් සේවයේ පිහිටුවීම, අත්‍යවශ්‍යය වේ. එසේම මේ ආකාරයේ පළිගැනීම් වලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව සන්නද්ධ සේවා රෙගුලාසී ප්‍රකාරව කටයුතු කළ යුතු වේ. එය තීරණාත්මක සහ අත්‍යවශය කටයුත්තක් වේ.

රටේ ආරක්ෂක තත්වය ගලා යන්නේ මෙම සන්දර්භය ඔස්සේය. යුද්ධයක් නොමැති වටපිටාවකදී, ආරක්‍ෂාව ගැන ලිවීම වූ කලී, සන්නද්ධ සේවාවල කළමනාකරණය ගැන ලිවීමය. එය අතිශය බැරෑරුම් කටයුත්තකි. නමුත්, මෙවැනි වටපිටාවක් තුළ අපිරිසිදු වූ කෝණ පිරිසුදු කිරීම පහසු වන්නාසේම දුදනන්ගේ පැවැත්ම අර්බුදයට ලක්වේ. සෙවනැලි වලින් එපිට සහ සංස්කෘතියේ අමුලික බොරු වලින් එහා දැකීමට නොහැකි අයවලුන් කිසිඳු කලෙක අවබෝධය නොලබති, යැයි ප්ලේටෝ කී අදහස පෙරදා මෙන්ම අදටත් වඩාත් වලංගු නිරීක්ෂණයක් වේ.

– ශ්‍රී ලංකා ගාර්ඩියන්

Back to Top