Sri Lanka Brief
පුවත් විශේෂාංගවිවරණජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

by

10-16-2014Zeid_Husseinජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ.

1949 ජිනීවා සම්මුතිය තුළත්, 1977 අතිරේක පෙරාතුකොළ තුළත්, එය වර්ධනය වී ආ ව්‍යවහාර නීතිය තුළත් ජාත්‍යන්තර මානුෂීය නීතිය අඩංගු වෙයි. එය ආරක්ෂා කිරීමට, ජාත්‍යන්තර සම්මුතීන්වලට අත්සන් කොට නැතත්, සෑම රාජ්‍යයක්ම බැඳී සිටී.

යුද්ධයට සම්බන්ධ සටන්කරුවන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් අතර තිබිය යුතු වෙනස හඳුනාගැනීම, ජාත්‍යන්තර මානුෂීය නීතියේ ප්‍රධාන මූලධර්මවලින් එකකි. ඈත අතීතයේ පටන්, සිවිල් වැසියන්ව ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කෙරුණි. ආයුධ බිම තැබූ සටන්කරුවන්වත් එසේමැයි. සිවිල් ජනතාව කෙරෙහි සැලසෙන මේ ආරක්ෂාව දැන් පුළුල් වී තිබේ. සෘජු ප්‍රහාරයෙන් ඔවුන්ව වළක්වා ගැනීම පමණක් නොව, ඔවුන්ව නිරාහාරව තැබීම සහ ඔවුන්ව බලහත්කාරයෙන් සංක්‍රමණය කැරැවීමත් තහනම් වන අතර, ඔවුන්ට වෛද්‍ය සැපයුම් සැළසීමත් අනිවාර්ය කෙරේ. තවද, කාන්තාවන් සහ ළමුන් වැනි පහසුවෙන් අනතුරට ලක්විය හැකි පිරිස්වලට විශේෂ ආරක්ෂාවද සැලසිය යුතුව තිබේ. ස්ත්‍රී දූෂණය, බලහත්කාරයෙන් කාන්තාවන් වෛශ්‍යා සේවයේ යෙදැවීම සහ අවිනීත අඩන්තේට්ටමට ලක්කිරීම තහනම් වන අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ව්‍යවස්ථාවට අනුව ඒවා ගැනෙන්නේ ජාත්‍යන්තර අපරාධ ගණයටයි. වයස පහළොවට අඩු දරුවන් යුද්ධයට බඳවා ගැනීමත් තහනම් වන අතර එය වැටෙන්නේද යුද අපරාධ ඝනයටයි.

එසේම, යුද වැදී සිටින හමුදාවට අදාළ නීතිරීතිද පැහැදිළි කොට දක්වා තිබේ. සටන්කරුවන් සහ සිවිල් වැසියන් අතරේ පවතින වෙනස පිළිබඳව දැක්වෙන වැදගත් නීති මුලධර්මවලට අමතරව, සමානුපාතිකත්වය පිළිබඳ මුලධර්මයද එහිදී වැදගත් වෙයි. එනම්, සටන්වදින පිරිස්, සිය හතුරාට පමුණුවන හානි සඳහා යොදාගන්නා මාර්ගවලටත් සීමාවක් තිබෙන බවයි. උදාහරණයක් වශයෙන්, රසායනික අවි භාවිතය හෝ මල්ටි බැරල් රොකට් ප්‍රහාර වැනි හතුරාට අසීමාන්තික හානි පමුණුවන ක්‍රමවේද තහනම් ය.

මේ නීතිරීතිවලට යටත්ව, ජාත්‍යන්තර තලයේ මෙන්ම දේශීය තලයේදීත් දියත් කෙරෙන යුද්ධ හෝ අවි ගැටුම්, රටක ආත්මාරක්ෂාව හෝ රටක භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පවත්වාගෙන යා හැකිය. කෙසේ වෙතත්, වෙනත් රාජ්‍යයකට එරෙහිව කෙරෙන ආක්‍රමණකාරී යුද්ධ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ, තහනම් ය. ශ්‍රී ලංකා හමුදාව දැන් පීඩාවට ලක් කෙරෙන්නේ, කැරලිකාරී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධ කොට එම සංවිධානය ශ්‍රී ලංකා හමුදාව විසින් පරාජය කරනු ලැබූ නිසා බවට අදහසක් රටේ ඇතැම් කොටස් අතර තිබේ. කෙසේ වෙතත්, මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ප්‍රශ්නයට ලක් කෙරෙන්නේ යුද්ධ කිරීම නොව, යුද්ධයට අදාළ නීතිරීති පිළිපැද ඇත්ද යන කාරණයයි. ඇත්ත වශයෙන්, මෙවැනිම කාරණයක් අරභයා වන ප්‍රශ්නයකට වරක් ඊශ්‍රායලයත් පරීක්ෂාවට ලක් කෙරුණි. හමාස් සටන්කාමී සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රතිප්‍රහාරවල ස්වභාවය ඊට හේතු විය. එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ කොමිසමේ වාර්තාව 2015 ජුනි මාසයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අතර දෙපාර්ශ්වයම යුද අපරාධ සිදුකොට තිබිය හැකි බවට නිගමනය කෙරුණි.

තවත් විවේචනයක් වන්නේ, වෙනත් රටවල්ද එවැනිම වැරදි කරතත්, ඔවුන්ව මෙවැනි වගවීමකට බැඳගෙන නැති බවයි. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් වුවද, ලොක්කන් කරන වැරදිවලට වඩා සොක්කන් කරන වැරදි පස්සේ පැන්නීම සාමාන්‍ය ස්වභාවයකි. එහෙත් ඇමරිකාව සහ ඊශ්‍රායලය වැනි රටවල මේ සඳහා ඇති කෙරෙන දේශීය විමර්ශන සහ හමුදා අධිකරණ හරහා වැරදිකරුවන්ට නඩු පවරා දඬුවම් කෙරෙන බවත් අමතක නොකළ යුතුය. අනිත් අතට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තොත්, ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කිරීම ගැන නැගුණු විවිධ චෝදනා දේශීය වශයෙන් විභාග කර බැලූවේ නැත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ප්‍රතිඥාවක් පවා දී තිබියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග සාධනීය ආකාරයකින් කටයුතු කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගත්තේ නැත. ඇත්ත වශයෙන්ම එහිදී ශ්‍රී ලංකාව දැරූ ස්ථාවරය වුණේ, යුද්ධයෙන් කිසි සිවිල් වැසියෙකු මිය නොගිය බවත්, කිසි මානව හිමිකම් උල්ලංඝණයක් සිදුව නැති බවත් ය. ඒ වන විට නැගෙමින් තිබූ විවිධ චෝදනා විභාග කර බැලිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ විවිධ යෝජනා ගෙන ආවේ එවැනි පසුබිමක් තුළයි.

යුද අපරාධ අරභයා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර නීතිය තුළ දැන් පිළිගත් මූලධර්මයකි. එම බලය පදනම් වන්නේ, එවැනි අපරාධ සමස්ත මානව සංහතියටම බලපාන තරමට සාහසික බවටත්, එවැනි අපරාධවලට දඬුවම් කිරීමේ වගකීමක් ජාත්‍යන්තර ප්‍රජාවට ඇති බවටත් වන විශ්වාසයයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 196 ක් අත්සන් කොට බැඳී සිටින 1949 ජිනීවා ප්‍රඥප්තිය, අපරාධකරුවන්ගේ ජාතිකත්වය කුමක් වෙතත්, අපරාධයට ලක්වූ වින්දිතයන්ගේ ජාතිකත්වය කුමක් වෙතත්, අපරාධය සිදු කරන ලද්දේ කොතැනක වෙතත්, සෑම රටක්ම එවැනි අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බව කියා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් ඉල්ලා ඇති පරිදි අපරාධ නඩු විභාගවලට අදාළව දිය හැකි උපරිම පහසුකම් සැපයිය යුතු බවටත්, එවැනි අපරාධ සම්බන්ධයෙන් ඕනෑම රටක් කරනු ලබන පරීක්ෂණ සහ නඩු විභාගවලට සහාය වීමට, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන සියලූ රටවල්, 1977 ප්‍රඥප්තියේ අංක 1 දරණ පෙරාතුකොලය යටතේ, බැඳී සිටින බවටත් දැක්වේ.

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුළු යුද අපරාධ සිදුකොට ඇති සංවිධානයක් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමේ යෙදිණැයි යන චෝදනාව යටතේ, 2015 මැයි මාසයේදී නෙදර්ලන්තයේ හේග් නුවර දිස්ත්‍රික් අධිකරණය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් පස් දෙනෙකුට සිර දඬුවම් පැමිණවීම එවැනි නඩු විභාගයකට උදාහරණයකි. 2015 සැප්තැම්බර් 20 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කොට තිබූ පරිදි, එල්ටී.ටී.ඊ. සංවිධානය සහ එම සංවිධානයෙන් කැඩී ගොස් ආණ්ඩුවට පක්ෂව ක්‍රියා කරමින් සිටි නවත් සන්නද්ධ කණ්ඩායමක්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයේ ටියුෂන් ගොස් එමින් සිටි වයස අවුරුදු 12 සහ 13 තරම් වන දැරියන්ව පවා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් බඳවා ගැනීමේ සිද්ධීන් සහ අවුරුදු 15 ක් වයසැති දියණියව සංවිධානයට භාර දීම ප්‍රතික්ෂේප කළ දෙමාපියන්ට තර්ජනය කිරීමේ සහ ඔවුන්ගේ නිවස ගිනි තබා විනාශ කිරීමේ ඝෝර සිද්ධියක්, විදේශීය කාන්තාවක් වන බෙකර් නැමැති මහත්මියක විසින් වාර්තා කොට තිබුණි. ඈ විසින් මෙම තොරතුරු ඕලන්ද නඩු පැවරීමේ බලධාරීයාට සැපයීමෙන් පසු ඔහු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගත්තේය.

ලංකාවට ඉතා ඈතින් පිහිටි එවැනි රටක ලංකාවට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් එවැනි නීතිමය පියවර ගෙන තිබියදී, යුද්ධය අවසන් වී මේ වන විට අවුරුදු පහක් ගතව ඇතත්, ශ්‍රී ලංකාව එවැනි වැරදි කිසිවක් සම්බන්ධයෙන් මේ වෙන තෙක් කිසිවෙකුට එරෙහිව නඩු පවරා නැත. මෙහි ඇති ලොකුම විහිළුව වන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී සිටි ඉහත කී චූදිත සන්නද්ධ කණ්ඩායමේ නායකයාට එදා පාලක පක්ෂයේ ඉහළ තනතුරක්ද පිරිනැමීමයි. කළ වැරදිවලට තෑගි ලැබූවේ ඔහු පමණක් නොවේ. නැගෙනහිර පළාතේ සේවය කරමින් සිටි සියළු ජාතීන්ට අයත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යටත් වීමෙන් පසු ඔවුන්ව ඝාතනය කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මේ දක්වා කිසි පරීක්ෂණයක් පවත්වා නැත. එසේ තිබියදී, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව තුළ, “ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය අවශ්‍ය තරමට තවම ශක්තිමත් නැති බව සහ සූදානම් නැති බව” කියා සිටීම ගැන ලංකාවේ ඇතැම් කොටස් බලවත් අප්‍රසාදය පළ කොට තිබුණත්, එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම ඔහුට වරද පැටවිය හැකිද?

සැළකිල්ලට යොමු විය යුතු තවත් කාරණයක් වන්නේ, “අපේ රණවිරුවන්ව අප ආරක්ෂා කළ යුතු” බවට නිරතුරුව කෙරෙන ප්‍රකාශයයි. සත්තකින්ම, යුද්ධයේ නීතිරීතිවලට අනුගතව, එඩිතරව යුද්ධ කළ සහ ඇතැම් විට සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ස්වකීය ජීවිත පවා පරදුවට තබමින් ක්‍රියා කොට ඇති රණවිරුවන්ට අප ප්‍රශංසා කළ යුතුය. එහෙත් එවැනි රණවිරුවන්ට බිය වීමට කාරණයක් මෙහි ඇත්තේ නැත. මන්ද යත්, ඔවුන්ට එරෙහි කිසි චෝදනාවක් එල්ල වීමට ඉඩක් නැති බැවිනි. එහෙත් සිවිල් වැසියන්ට පහර දීමට සහ ඔවුන්ව වධ බන්ධනයට ලක් කිරීමටත්, හරස් ප්‍රශ්න කිරීමේ ආයුධයක් වශයෙන් ස්ත්‍රී දූෂණය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමටත් නියෝග දුන් අයවළුන්ව, එම චෝදනා ඔප්පු වෙතොත්, අප ආරක්ෂා කළ යුතුද? මේ ආකාරයෙන්ම, කැරලිකරුවන්ගේ පැත්තෙන් සිදුව ඇති එවැනි අපරාධත් වැටෙන්නේ ඒ ගනයටමයි. රාජ්‍ය නොවන එවැනි පිරිස්වල ක්‍රියාකාරකම්ද යුද්ධයට අදාළ නීතිරීතිවලට යටත් වෙයි.

දුර්විපාක නොලබා අපරාධ කිරීමට හැකියාව සැලසෙන (දණ්ඩමුක්ති) සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතුව තිබේ. ඒ සඳහා රටක ජනතාව ඒ දෙස විවෘත මනසකින් බැලිය යුතුවා මිස, හැඟීම්බර වචනවලට යටවී, සැර සටන් පාඨවලින් ගසාගෙන යා යුතු නැත. යුද්ධය දියත් වූ ප්‍රදේශයේ ජීවත් වූ, යුද්ධයෙන් වැඩියෙන්ම බැටකෑ දෙමළ කතා කරන ජනතාව මේ රටේම ජන කොටසක් මිස පිටස්තරයන් පිරිසක් නොවන බව අප වටහාගත යුතුය. එසේ හෙයින්, යුක්තිය ඉල්ලා ඔවුන් හඬන විට ඒ සඳහා වන සහයෝගය සහ ආරක්ෂාව ලැබීමට ඔවුන්ට හැම අයිතියක්ම ඇති බව අප තේරුම්ගත යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාව තුළ අඩංගු බරපතල අපරාධ ගනයට වැටෙන එක් අංශයක් වන්නේ, ලිංගික හිංසනය සහ ලිංගත්වය පදනම් කරගත් හිංසනයයි. එවැනි හිංසන ක්‍රියා, චේතනාන්විත ප්‍රතිපත්තියක කොටසක් මිස, හුදෙකලා සිදුවීම් නොවන බව වාර්තාව පෙන්වා දෙයි. යුගෝස්ලාවියාවේ පැවති යුද්ධය සම්බන්ධයෙන් යුගෝස්ලාවියානු ආණ්ඩුවට එරෙහිව මෙවැනිම චෝදනා එල්ල වූ බව අපට මතකයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 827 යෝජනාව යටතේ, 1993 දී පිහිටුවන ලද “යුගෝස්ලාවියාව සඳහා වන ජාත්‍යන්තර විනිශ්චය සභාව” එහි පූර්විකාවේ එක් හේතුවාචකයක් වශයෙන්, බලධාරීන් විසින් සමූහ ඝාතන සිදු කිරීම සහ කාන්තාවන්ව සැලසුම් සහගතව හිරභාරයේ තබා ගනිමින් දූෂණය කිරීම ඇතුළු ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කිරීම්” සිදුව ඇති බව කියා තිබුණි. ජාත්‍යන්තර නීතිය යටතේ ස්ත්‍රී දූෂණය මොන තරම් බරපතල වරදක් වශයෙන් සළකන්නේද යන්න එයින් පෙනේ.

එහෙත් ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ එවැනි අපරාධවලට එරෙහිව නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් නැත. ස්ත්‍රී දූෂණය, උතුරට සහ නැගෙනහිරට පමණක් සීමා වන දෙයක් නොවේ. ලංකාවේ දකුණේද එම තර්ජනය හිස ඔසවමින් තිබේ. “වටලෑමට ලක්ව සිටින කාන්තාවෝ” මැයෙන්, 2015 සැප්තැම්බර් 20 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවු ලිපියක, කොටදෙනියාවේ අවුරුදු පහක් වයසැති දැරියක් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා කරමින් මෙසේ කියා ඇත. “සමාජ හර පද්ධතීන්හි පරිහානියට බොහෝ සාධක බලපෑ හැකි වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින බරපතල අඩුපාඩු හේතුවෙන් ස්ත්‍රී දූෂකයෝ සහ ලිංගික අපයෝජකයෝ නීතියෙන් ගැලවී යති. එය, දුර්විපාක නොලබා අපරාධ කිරීමේ (දණ්ඩමුක්ති) සංස්කෘතිය ශක්තිමත් කෙරෙන අතර අපරාධකරුවන්ට රැකවරණය සපයයි.”

මෙවැනි අපරාධවලට අදාළ නඩු උසාවි තුළ ගොඩගැසී තිබේ. සමහර නඩු. අපරාධයෙන් අවුරුදු දහයකට පසුවත් ඇසෙමින් පවතී. කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් විශ්වමඩු සාමූහික ස්ත්‍රී දූෂණ සිද්ධිය යාපනේ ඉහළ උසාවියේ තවමත් ඇසෙමින් තිබේ. එහි චූදිත හමුදා නිලධාරීන් හතර දෙනා ඇප මත මුදාහැර ඇති අතර එයින් කෙනෙක් රට හැර ගොස් ඇති බව වාර්තා වෙයි. එවැනි සන්දර්භයක් තුළ, යුද්ධ කාලයේ දූෂණයට සහ වධ බන්ධනයට ලක්වූ වින්දිතයන්, මුළුමණින් දේශීය අධිකරණයක් ඉදිරියට සාක්ෂි සහිතව පැමිණෙතැයි අපට අපේක්ෂා කළ හැකිද? එවැනි අධිකරණයකින් තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙතැයි ඔවුන් අපේක්ෂා කරාවිද? මෙවැනි වැරදි සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණයන් සම්බන්ධයෙන්ද, ජාත්‍යන්තර සහාය සහිත මිශ්‍ර අධිකරණයක් පිළිබඳ යෝජනාව පැමිණෙන්නේ එවැනි තත්වයක් තුළයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කරන ලදැයි කියන යුද අපරාධ දෙසද විවෘතව ආපසු හැරී බලන්නැයි දෙමළ ජාතික සන්ධානය දෙමළ ප්‍රජාවෙන් ඉල්ලා සිටී. සිදුවී යැයි කියන අපරාධ දෙස එසේ විවෘතව හැරී බැලීමේ වගකීමක් ඇත්තෙන්ම සෑම ප්‍රජාවකටම තිබේ. සාක්ෂි ඇති තන්හි සත්‍යය භාර ගත යුතුය. එවැනි අපරාධ නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතුය. යුද්ධයේ එක් පාර්ශ්වයක් අපේ මිනිසුන් වූ පමණින් යුද්ධය සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී පිළිවෙතක් අප අනුගමනය කළ යුතු නැත. අප සියල්ලන්ටම මේ යුද්ධය එක සේ අදාළ වෙයි. මන්ද යත්, දුර්විපාක නොලබා අපරාධ කිරීමේ සංස්කෘතියෙන් ලංකාව මුදවා ගත යුතු බැවිනි. ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කළ බව කියැවෙන නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර නොගැනීම මගින්, දුර්විපාක නොලබා අපරාධ කිරීමේ (දණ්ඩමුක්ති) සංස්කෘතියක් හමුදාව තුළ ජනිත කොට තිබේ. පිරිසුදු පානීය ජලය ඉල්ලා සිටි දකුණේ සිංහල ගැමියන්ට වගවිභාගයකින් තොරව වෙඩි තබා ඝාතනය කිරීමෙන් ඒ බව පෙන්නුම් කොට ඇත. නිසි පියවර නොගැනීම නිසා ඇති වන නීතිය හා සාමය බිඳ වැටීමේ තත්වය, අනාගත පරම්පරාවල අභිවෘද්ධිය වෙනුවෙන්, නතර කර ගත යුතුව තිබේ. ඒ සඳහා සත්‍යය හෙළිපෙහෙලි කරගත යුතුය. අප හැමෝම එම සත්‍යය භාරගත යුතුය. එවැනි තත්වයන් නැවත ඇති නොවීම සහතික කෙරෙන, අර්ථවත් ප්‍රතිඵල ඇති කෙරෙන, වගවීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතුව ඇත්තේය.

ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන් ලියූ The UNHCHR Report: Understanding IHL & the Obligations of States නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Back to Top