Sri Lanka Brief
විවරණමෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

by

ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ ලබා දීම ඉතිහාසය වෙනුවෙන් වැදගත් විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රමාදය තුළ තම පරිපාලනයේ ප්‍රතිරූපයට සිදු වූ බොහෝ හානිදායක දෑ තිබේ. එවැනි දෑ එකිනෙක ගෙන විස්තර කිරීමට වඩා මෙහිදී අවධාරණය කළ යුතු මූලික කාරණා කිහිපයක් තිබේ.

ජනපති සිරිසේන මාධ්‍ය අමතයි

ජනපති සිරිසේන මාධ්‍ය අමතයි

මෙවැනි අවස්ථාවක නායකයෙකු කළ යුතුව තිබුණේ රටේ තාකෂණය සහ මාධ්‍ය නිවැරදිව භාවිතාකරමින් කරමින් නිසි මොහොතේදී රටේ ජනතාව ඇමතීමය. ජනාධිපතිවරයා මීට පෙර එනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ජාතිය අමතනු ලැබූ විලාසය සහ ඊයේ දිනයේදී මහත් කලබලයෙන් සිදුකරනු ලැබූ කරුණු පෙළගැසීම අතර විශාල පරතරයක් ඇති බව නිරීකෂණය කළ හැකිය.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මහත් කල්පනාවෙන් ඇහුන්කම් දෙන අයෙකුට නිශ්චිතව දැකගත හැකි දේ වූ කලී ඔහුට තමන් අවට සිටින කිසිවෙකු විශ්වාස කිරීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවයි.  එය බොහොමයක් පාලකයින් තමන් බලයට පත් වී ඉතාම් කෙටි කාලයකින් මුහුණ දෙන යථාර්තයකි.

ඔහු සඳහන් කරන ආකාරයට ඔහුට “ගහපු ගැහිල්ල” වෙන කිසිම රාජ්‍යය නායකයෙකුට මුහුණ දීමට සිදු නොවූවා සේම එම රාජ්‍ය නායකයින්  රට පාලනය කළ කාලයේදී “ප්‍රජාතන්ත්‍රවාදය දෝරේගලා යාමට” ඉඩ ලබා දුන්නේද නැත.

විශේෂයෙන් පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිපාලනය ගැන සඳහන් කළ හෙතම එහිදී ජනමාධ්‍යයට ලබා දී තිබු නිදහස, එනම් තම පවුල හැර වෙන ඕනෑම අයෙකුට විරුද්ධව ලිවීමට සකස්කොට තිබු වටපිටාව ගැන ජනාධිපති මෛත්‍රී යළිත් මතක් කිරීම වැදගත් වේ. ඔහු තමන්ට මුල අමතක නැතිබව අවස්ථා කිහිපයකදීම නොකියා කියනු ලැබූ මූලික කාරණයකි.

සංවේදීබව, අනාරක්ෂාව මෙන්ම අවිශ්වාසය යන මූලික කාරණා වලට තම කතාවේදී වැඩි ඉඩක් ලබා දෙනු ලැබූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තම මූලික දේශපාලන විවේචනය ඉදිරිපත් කරනු ලැබීය. මෙය පුදුමයකට හේතුවක් නොවන අතර  එමඟින් ඔහුට එල්ල වෙමින් තිබු සහ මොහොතින් මොහොත තියුණු වෙමින් තිබූ චෝදනා වල සාන්ද්‍රණය තනුක කරනු ලැබීය. එය ප්‍රමාද වී සිදු කරනු ලැබූ යහපත් දෙයකි.

මෙහිදී දැක ගත හැකි වූ විශේෂ කාරණය කුමක්ද? වෙනත් වචන වලින් කිවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට තම පක්ෂය කටයුතු කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රී නිශ්ශබ්දව සිටීමට හේතුව කුමක්ද?  සරල සහ විවෘත පිළිතුර,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සියුම්ව වර්ධනය වෙමින් පවතින අවිශ්වාසයයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇති වි ඇති එම පරතරය සහ ජනාධිපතිවරයා විසින් ආසන 47 කින් සමන්විත සුළුතර ආණ්ඩුවක් හෙවත් “ලංකාවේ ටයිටැනික්” නෞකාව මුහුදුබත් වීමට පෙර බේරා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් සහ එහි නායකත්වයෙන් ලැබියයුතු කෘතගුණ තමන්ට නොලැබුණු බව නොකියා කියන්නේද?

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ඉවත්කොට ජාතික ලැයිස්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලැස්ම වළක්වනු ලැබූ තමන්බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියන්නේය. මෙය සැබවින්ම අර්ධ සත්‍යයකි. මන්ද මෙම කාරණය අගමැතිවරයා බලයට පත් වූ මොහොතේ සිටම දැනසිටි කාරණයක් වූ අතර එක්සත් ජාතික පක්ෂය දින සීය ගෙවුණු මොහොතේ සිටම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයැයි නොකඩවා සඳහන් කරනු ලැබීය. කෙසේ හෝ පසුව එය සිදු වූයේ යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තරය තුළ මතු වූ සියුම් ඝට්ටනය අර්බුදයක් දක්වා වර්ධනය වීමෙන් පසුය. එබැවින් පාර්ලිමේන්තුව සිසුරුවා හැරීමේ නීත්‍යානූකූල අයිතිය මූලික කරගනිමින් ජනාධිපතිවරයාට ලබා දිය යුතු ප්‍රසංශාව හා සමානවූ ප්‍රසංශාවක් දේශපාලනික සහ සදාචාරාත්මක වශයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වේ.

කෙසේ වෙතත් මෙම දේශපාලන ප්‍රවණතාවයේදී දැක ගත හැකි මූලික කාරණය වූ කලී, මෛත්‍රී සහ රනිල් අතර අව්‍යාජ සහ ජනතා හිතවාදී සහයෝගය පළුදු වී ඇති ආකාරය සහ එය යළිත් ඇති කරගැනීමේ අවශ්‍යතාවයයි. එම දෙදනා අතර පවතින සහයෝගය පළුදු වන තරමට මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන සංස්කෘතියට යළි ආගමනයක් තිබේ. මෙය ක්‍රමෝපායික වශයෙන් කියවිය යුතු සේම හැදෑරිය යුතු මූලික කාරණයකි.  එසේම මෙම විරසකය සඳහා අගමැතිවරයාගේ වගකීමක්ද තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මහබැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැරූ මතයට අගමැතිවරයාගේ විරෝධය හෙවත් නිහඬ මඟහැරීම මූලික කරගෙන මෙම දෙදනා අතර පැවති සංහිඳියාව හිඳුනේද? එසේත් නොවේ නම්, තම අතීත අත්දැකීම්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින්, මහින්ද තිරය පිටුපස තබාගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ වුවමනාව ජනාධිපතිවරයාට තිබුණේද? නමුත් මහින්ද මුට්ටිය බින්දේද? යන්න දන්නේ ඔවුහු පමණි.

කෙසේ වෙතත්, ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවය ඔස්සේ ඇතිවන ජාතික ආණ්ඩුවක් සඳහා තම මූලික අකමැත්ත ජනාධිපතිවරයා වක්‍රව තම කතාවේදී ඉදිරිපත් කරනු ලැබීය. මෙය අයහපත් සහ හානීදායක එළඹුමකි. අඩුම වශයෙන් වසර පහක කාලයක් තුළ පැවතිය යුතු මූලික අවබෝධාත්මක  එකඟතාවයක් දින 150කට අඩු කාලයකදී බිඳවැටීම අවසනාවන්තය.

1956 සිට පවතින ද්වි-පක්ෂ පාලනය වෙනස් නොවන බව අවධාරණය කළ හෙතම, එම පක්ෂ දෙක මඟින් පාර්ලිමේන්තුව තුළ ඇතිවන බල තුලනය ගැන තාර්කික කාරණයක් ඉදිපත් කරනු ලැබීය. බැලූ බැල්මට ආකර්ශනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී කාරණයක් වුවද, මේ මොහොතේදී රටේ මූලික ගැටලුව විසඳීම සඳහා එය බලපාන්නේ කෙසේද යන්න ගැටලුවකි. එසේම වර්ගවාදී දේශපාලනික කල්ලියකගෙන් පාර්ලිමේන්තුවේ බලතුලනයක් අපේක්ෂා කිරීම ජුගුප්සාජනකය. මැතිවරණය පරාජයවීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ වර්ගවාදය පෝෂණය කරමින් කරගෙන ගිය දේශපාලනය තුලනයකට වඩා සමාජ වියෝවකට හේතුවේ.

කෙසේ හෝ තමන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර කිසිම ඇහිහොඳදැයියක් නොමැතිබව යළි යළිත් අවදාරණය කළ හෙතම මහින්ද ජයග්‍රහණය කළහොත් අගමැතිධූරය නොදෙනබව සඳහන් කරනු ලැබීය. එසේම අගමැතිධූරයට පත්කිරීම සඳහා තමන්ට මහින්දට වඩා ජ්‍යෙෂ්ඨයින් සිටින බව ප්‍රකාශ කළේය. තම විඩාව සංසිදුවා ගැනීමට සහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජීය වශයෙන් මතු වී පවතින ආවිශ්වාසය නැතිකිරීම සඳහා මෙවැනි උපායශීලී කාරණා ඉදිරිපත් කළ හැකිය. එමඟින් තාවකාලික සතුටක් සහ ආශ්වාදයක් රටේ ජනතාව අතර ඇතිකොට තමන්ටද එය භුක්තිවිඳ හැකිය. නමුත් මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත්, එම මොහොතේ පටන් මතුවන තත්වය පවතින තත්වයටත් වඩා අතිශය වෙනස් බව, අවබෝධ කරගැනීමට, තාරකා ශාස්ත්‍රය නොව ජනාධිපතිවරයාම කියන පරිදි ඉතිහාසය ප්‍රමාණවත් වේ.

වැදගත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඔහු දියත්කළ ඓතිහාසික අරගලයේ ශුද්ධත්වය රැකගෙන එය ව්‍යාකූල සහ අපවිත්‍ර නොකිරීමට තමන්ගේ ඇති වගකීම සහ කැපවීම ඉදිපත්කිරීමය. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බලතුලනයක් ගැන කතා කිරීමෙන් පමණක් නොව. එය කළ හැක්කේ තමන් එරෙහි වූ මූලික දේශපාලනයට එරෙහිව ජනතාව බලමුළු ගැන්වීමෙනි. නමුත් අවාසනාවට මෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කරනු ලබන්නේ, තමන් නිර්දේශපාලනික වී බලයට පත්වන්නා සමග ජනවාරි 08 වනදා රටේ බහුතරය කැමැත්ත පලකළ දේශපාලනික මුලධර්ම වලට අනුව රට පාලනය කරන බවය.

මෙය අතාර්කික කාරණයකි. පළමුව ජනාධිපතිවරයා නිර්දේශපාලනික වීම වූකලී මිත්‍යාවකි. දේශපාලනඥයෙකුට නිර්දේශපාලනික වීමට හැකිවේ යැයි කීම නොගැලපෙන අසත්‍යයකි. එසේම බලයට පත්වන්නේ කුමන පාර්ශවය වුවද ඔවුන් සමග ජනවාරි 08 වැනිදා තමන් ලබාගත් ජනවරමට අනුකූල වූ කාරණා වෙනුවෙන් පෙනී සිටින බව හෙතම කියන්නේය. මෙය වඩාත් ගැලපෙන බසින් කිවහොත් හතරබීරී කතාවකි. එමඟින්, උල මෙන්ම පිලද නැතිවීම මෙන්ම රටේ යහපාලනයක් ඇතිවීමට තිබු අවකාශයද අහිමි වීම පමණක් සිදුවනු ඇත.

මෙය තේරුම් ගැනීම සරලය. ඔබට ආහාර පිණිස පාන් සෑදීමට අවශ්‍යනම් මුලික වශයෙන් අවශ්‍ය වන්නේ පිටි සහ ජලයයය. ඒ වෙනුවට මැටි සහ ජලය තෝරාගෙන මැටි පාන් තනා අනුභව කළ හැකිද? ජනවාරි 8 වැනිදින මෙරට ජනතාව ලබාගත් මූලික නිදහස අතිපිහිත වී ඇත්තේ මෙම මූලික ප්‍රායෝගික කාරණයට යටත්වය. මෙය මඟහරිමින් මතු වී ඇති තීරණාත්මක මොහොතේ නිර්දේශපාලනික වී රටේ මූලික වුවමනාවන් වලට අඩු වටිනාකමක් ලබා දීම එතරම් බුද්ධිමත් තීරණයක් නොවන බව තේරුම් ගැනීමට දශක ගණනාවක ඉතිහාසයට වඩා රාජපක්ෂ පාරිපාලනය හැසිරුණු ආකාරය ගැන දැනගැනීම පමණක් ප්‍රමාණවත් වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් දින තුනකට පසු මා විසින්, රාජපක්ෂට යළි පැමිණිය හැකිද?; යන ශීර්ෂයට යටත්ව ලියූ රචනාවේදී මුලිකා කාරණා දෙකක් ඉස්මතු කළෙමි. එය මෙහිදී නැවත උපුටා දැක්වීම යෝග්‍යය යැයි සිතේ.

 “රාජපක්ෂට යළි පැමිණිය හැකිද? එය සිදුවීමේ සම්භාවිතාවය අඩු නැත. එය සිදු කිරීමට නම් ඔහු මූලික කාරණා දෙකක් සම්පූර්ණ කළ යුත්තේය? පළමුවැන්න, තමන් නියෝජනය කරන පක්ෂය තුළ අභ්‍යන්තර කලකෝලාහලයක් නිර්මාණය කිරීමය. දෙවැන්න, වර්ගවාදය පෝෂණයකළ හැකි රටේ ජනතාවගෙන් කොටසක් මහපාරට ගෙනඒමය. මෙම කාරණා දෙක සම්පූර්ණ කළ හැකිනම් රාජපක්ෂ යළි තම ගමන් ආරම්භ කරනු ඇත.”  හිටපු ජනාධිපතිවරයා මෙම මූලික කාරණය මනාව අවබෝධ කරගත් ආකාරය පමණක් නොව මනාව කළමනාකරණය කොට තම ඵලනෙලා ගැනීම සඳහා ගණිතමය සමීකරණයකට පැමිණි ආකාරය දක්නට ලැබුණි. ඔහු කුරුණෑගල තෝරාගැනීම සහ අන්තර්වාර ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ධූරය දරන අඛිල විරාජ වැනි තරුණ සහ අතාර්කික දේශපාලනඥයෙකු සමග තරග කිරීම තවත් එක, ඉබ්බකුගේ සහ හාවෙකුගේ තරගයක් පමණක් නොවේ. එවැනි දෑ වල පවතින ගණිතය මෙන්ම විද්‍යාව කියවීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වීම සැබවින්ම කණගාටුදායක කාරණයකි.

කෙසේ වෙතත් තම කතාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා මඟහරිනු ලැබූ කාරණය කුමක්ද? රාජපක්ෂට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මෝදු වෙමින් පැවති මූලික විරෝධයට ඔහු ආකර්ශනීය පිළිතුරක් ඉදිපත්කළ බව සත්‍යයකි. එසේම අනුන් ලියාදෙන කතාවලට වඩා තමන්ගේ දේශපාලන අත්දැකීම් මත පදනම් වෙමින් කිසිඳු පැකිලීමකින් තොරව මහජනතාව ඉදිරියේ කාරණා ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති කෞශල්‍යයෙන් පිරුණු නායකයෙකු වන හෙතම තම කථාව මඟින් තමන් කවුරුන්ද සහ තමන් කුමක්ද යන්න පැහැදිලි කළ බව සත්‍යයකි. කිසිඳු විවාදයකින් තොරව පැසසිය යුතු කාරණා වන ඒවායෙහි ඔහු මතු කිරීමට උත්සහ කරනු ලැබූ මෙන්ම හිතාමතා අමතක කරනු ලැබූ කාරණාද හඳුනා ගැනීම වැදගත් වේ.

නමුත් ඔහු මූලික වශයෙන් මඟ හරිනු ලැබූ කාරණය වූ කලී, රාජපක්ෂ ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම ඔහු වටා සිටි අයවලුන්ට එරෙහිව එල්ල වූ දූෂණ සහ වංචා චෝදනාවලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කතා කිරීමය.

මහින්ද නරක නායකයෙකු වන්නේ ක්‍රමයේ වරදක් නිසා බව සත්‍යය. මහින්ද වූ කලී රෝගය නොව රෝග ලක්ෂණය බවද සත්‍යය. නමුත් ක්‍රමය වෙනස් කළ හැක්කේ එම ක්‍රමය විකෘති කරනු ලැබූ පුද්ගල විෂයයන් වලට  නීත්‍යානුකූලව සාදාරණය ඉටු කිරීමෙනි. වැරදි ක්‍රමයකින් තම පෞද්ගලික අභිලාෂයන් ඉටුකොට එය අතීතය මත පටවා තමන් සුදෙනෙකු වූ “ගෝත්‍රිකවාදී රදළ” දේශපාලනය පසුගිය මැතිවරණයෙන් පසු නිමා වූයේ යැයි පොදුවේ පවතින විශ්වාසයකි.

එවැනි කාරණා මඟහැරීම මඟින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරදා තම ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් කළ සටන් පාඨ හුදු ඕපාදූප පමණක් බව නොකියා කියන්නේද? එසේ නොවේනම්, එවැනි මහාපරිමාණ අවභාවිතයන් වලට වගකිව යුතු පිරස නීතිය ඉදිරියට ගෙන ඒමට තමන් අසමත්බව කියන්නේද? ඒ සඳහා පිළිතුරු ලබාදීම මෙන්ම, කටයුතු කිරීම ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වුවමනාව නොවන බව ජනතාවට දැනීමට සලස්වන්නේද?

ජනාධිපති මෛත්‍රී මෙහිදී මූලික වශයෙන් මඟ හරිනු ලැබූ අනෙක් කාරණය වූ කලී, මහින්ද නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණවලට මුහුණ දීමට හැකියාවක් ඇතිබව ඔප්පු කිරීමට තිබු මිල කළ නොහැකි අනගි අවස්ථාව මඟහැරීමය. එනම්, වක්‍රව මහින්දට ජයග්‍රහණය ලබා දීමය. පක්ෂය කඩාගෙන යෑම නමැති මූලික භීතිය සහ එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකේ බලයක් හිමිවේය යන මිථ්‍යාව මූලික කොටගෙන තම මූලික අභියෝගය හෑල්ලුවට ලක්කිරීම අවාසනාවන්ත කාරණයකි.

තාරකා දෙස බලා නොව ඉතිහාසය අනුව යමින් අනාගතය දකින සිත්ඇදගන්නා නායකත්වයට වර්තාමනය කියවීමට නොහැකිවීම අවාසනාවක් නොවේද?

ඉතිහාස අත්දැකීම්මත අනාගතය ගැන අනාවැකි කීමට පෙර මෙරට වෙසෙන මිලියන 22කට අධික අසරණ මිනිසුන්ගේ සැබෑ නිදහස වෙනුවෙන් තම බලය නීත්‍යානුකූලව සහ විනීතව මෙහෙවීම මේ මොහොතේ ඇති තීරණාත්මක කාරණය වේ.

ඒ වෙනුවට මඟහැරීම සහ යටගැසීම මූලික උපායන් වූ තැන, සිදු වන්නේ ඉතිහාසය පුරා මෙරට ජාතියට උරුම වූ  බලාපොරොත්තුරහිත බාවය, අපේක්ෂාභංගත්වය සහ ගෞරවාන්විත ජීවිතයට ඇති ඉඩ තවත් කුඩා වීමය.

මාතෘභූමියට සහ ජනතාවට අවශ්‍යවන්නේ ස්ථාවරත්වයක් මිස, එක් එක් දේශපාලන පක්ෂ විසින් තම අරමුණු ඉටු කරගැනීම සඳහා   ජනතාව “බොයිලර් කුකුළන්” බවට පත් කිරීමේ නීරස දේශපාලනය නොවේ. එය කළ හැක්කේ සාමාජ ක්‍රමය විකෘති කරනු ලැබූ රෝග ලක්ෂණ නීතිය ඉදිරියට ගෙන ඒමෙන් සහ  වර්ගවාදී හැඟීම් වලින් මොළ ශෝධනය වූ අයවලුන්ට සැබෑ ලෝකය අත්විඳීමට ඉඩ සලස්වා දීමෙනි.

එවැනි සමාජ ශෝධන මෙරට සමාජයට කළ හැකි බව කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් මෙවර මැතිවරණයට ඉදිපත්වීමෙන් ඔප්පුකොට ඇත. එසේනම් හොරුන් සහ තම බලය අවභාවිතය කළ අයවලුන් නීත්‍යානුකූලව මට්ටු කළ නොහැකිද?

යහපාලනය වූ කලී එයයි. ජනතාව බලාපොරොත්තු වන්නේද එයයි.
——–

Back to Top