Sri Lanka Brief
විවරණ19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

by

මෛත්‍රී – රනිල් ආන්ඩුවේ 19වන සංසෝධනය සහාය නොදෙන බවට කටමැත දොඩවමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රී ‘වහලුන්’ කණ්ඩායමට පසුගිය 29දා ඊට විරුද්ධ වීමට ධෛර්‍යක් නැතිව ගියේ ය. ඒ වනාහී මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලනය දුටු මාහැඟි ජයග්‍රහණයක අමිල මොහොතකි. 19වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමේ ඇත්ත ජයග්‍රහණය රඳා පවතින්නේ එය ලද වැඩි ජන්ද ප්‍රමාණයෙහි නොව ඊට විරුද්ධව ජන්දය දීමට දැන් ‘රාජපක්ෂගේ වහල්ලු’ යනුවෙන් දැන් ජනප්‍රවාදගතව ඇති රාජපක්ෂවාදී මංත්‍රී කල්ලියට නොහැකි වූයේ ය යන කාරණයේ ය. ඒ විසින් පෙන්වන්නේ අඩුපාඩු සහිතව හෝ සම්මත වූ 19වන සංශෝධනයේ සුජාත බාවය යි.

19 සංශෝධනය පරාජය කිරීම මගින් ජනාධිපති මෛත්‍රීපාල ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල අල්ලා ගත් සදාචාරාත්මක නායකත්වයේ අධිකාරය සුනුවිසුනු කිරීම රාජපක්ෂ වහලුන්ගේ සැළැස්ම විය. කවර ක්‍රමයකින් හෝ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන සංසෝධන යෝජනා ඉදිරිපත් කරමින් එකී ව්‍යවස්ථා සංශෝධනය කඩා කප්පල් කිරීම ඔවුන්ගේ අවසාන තුරුම්පුව බවට පත්ව තිබුණි.

එයට පෙර රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවී යැයි පාර්ලිමේන්තුවේ මහා කාල ගොට්ටියක් ඇති කිරීම එම රාජපක්ෂ වහලුන්ගේ ප්‍රථම ප්‍රයත්නය විය. ඒ පසුගිය 20 දාය. ජනාධිපතිවරයා යනු රටේ ප්‍රථම පුරවැසියා ය. නීතියේ පාලනයට සියළු පුරවැසියන් අවනත විය යුතු බව ඉහළින්ම පෙන්විය යුත්තේ ද එම ප්‍රථම පුරවැසියා ය. එසේ නමුත් රාජපක්ෂ තමාට අල්ලස් කොමිසමට එන්නැයි නියෝගයක් ලද විට පරළ විය. එනමුත් රාජපක්ෂ ආවේ නැත. ඒ රාජ්‍ය වනාහි පරම බලය යැයි ද එම පරම බලයේ අධිපතියා වන තමාට නීති රීති බලපාන්නේ නැතැයි ද යන අඥාදායක සිතිවිල්ලෙන් පසුගිය කා‍ලය පුරාම ගිනි කන වැටී සිටි නිසා ය‍. සිය පාලන කාලය පුරාම විරුද්ධවාදීන්ගෙන් දරුණු ලෙස පළි ගැනීම සිය පිළිවෙත බවට පත් කරගෙන සිටි රාජපක්ෂ තමාට කරන ලද නීතිමය කැදවීම පළිගැනීමක් යැයි මරලතෝනි තියන්නට පටන් ගත්තේ ය.

එම පරළවීම සැපක් සේ සැලකූ රාජපක්ෂ වහල්ලු පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් බවට පෙරළා ගත්හ. රාජපක්ෂවරයකු ම වන කතානායකවරයා පවා නීතියට පිටින් ගොස් අල්ලස් කොමසාරිස්වරයා පාර්ලිමේන්තුවට කැදවීය. ඇති පදම් මත්පැන් පානය කරමින් මේ රාජපක්ෂ වහල්ලු තම රිසිසේ ඇදුම්මාරු කරගනිමින් සූදු කෙළමින් එදා රැයෙහි පාර්ලිමේන්තු සභා ගර්භය ජෝගි නැටුමක් බවට පත් කර ගත්හ.

මෙම අවකල් ක්‍රියා මහා ජනයාට ප්‍රසිද්ධ කිරීම මගින් රාජපක්ෂ වහලුන්ගේ දේශපාලන දුරචාරය රටට පෙන්වීමට මාධ්‍ය හෝ මෛත්‍රී- රනිල් ආන්ඩුව ඇති තරම් පියවර ගත්තේ ද යන්න නොදනිමි. රාජපක්ෂ වහල්ලු ලත් තැනම ලොප් කිරීමට එම ජෝගිය රටට පෙන්වීම ම ප්‍රමාණවත් වන්නට තිබුණි. කණගාටුවකට මෙන් තවමත් අවශ්‍ය දවසේ අභියෝග බාර ගැනීමට තරම් ප්‍රමාණවත් හැකියාවෙන්ද යාන්ත්‍රණයන්ද නායකත්වයෙන් ද ජවයෙන්ද යහපාලන ආන්ඩුවේ සන්නිවේදන හස්තය සපිරී නැත. එදා රෑ පාර්ලිමේන්තුවේ ගොරව ගොරවා නින්දට වැටී ‍‘උපවාස’ කළ රාජපක්ෂ වහලුන් මෙන්ම ආන්ඩුවේ සන්නිවේදන හස්තද නිදිකිරා වැටුන බව පෙනෙන්නට තිබුණි.

අනෙක් අතට එම ජෝගිය නැටූ 20දා ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීලංනිපය මත පවත්වා ගැනීමට ප්‍රයත්න දරණ නායකත්වය බිඳ වැටී ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. මන්ද යත් අල්ලස් සහ දූෂණ විමර්ශණ කොමිසමට නව ආන්ඩුව විසින් කරන ලද එකම පත්වීම වූ එහි අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉවත් කරන සේ ඉල්ලා ලිපියක් ශ්‍රීලංනිප මංත්‍රීවරු 114 දෙනෙකු අත්සන් කරන ලද නිසා ය. ඇය එම තනතුරට පත් කරන ලද්දේ ජනාධිපති සිරිසේන ම විසිනි. රාජපක්ෂ සට්ටැඹියකු වන අල්ලස් කොමසාරිස් බාලපටබැඳි යටතෙහි පරීක්ෂා නොකර සඟවා තිබූ අල්ලස් චෝදනා පරීක්ෂා කිරීම පටන් ගැනුනේ ඇය එම තනතුර බාර ගැනීමෙන් පසු ය. ඇය එම තනතුරින් ඉවත් කරන සේ ජනාධිපති සිරසේන නායකත්වය දරන ශ්‍රිලංනිපයේ මංත්‍රීවරුන් 114 දෙනෙකු අත්සන් කිරීම එක එල්ලේම ඔහුට එරෙහිව එල්ල වූ අභියෝගයක් විය. රාජපක්ෂ වහල්ලු ජනාධිපති මන්දිරයේ දොර කවුලු අසළට ම පැමිණ සිටින සෙයක් පෙනී ගියේ ය‍.

ජනාධිපති සිරිසේන සිය බලය තහවුරු කර ගත් බව

ජනාධිපති සිරිසේන සිය බලය තහවුරු කර ගත් බව

රාජපක්ෂගේ ආගමනයට ශ්‍රීලංනිපය සූදානම් කිරීම පිණිස අවශ්‍යව තිබුණේ තවත් එක් පියවරක් සාර්ථක කර ගැනීම පමණි. එනම් 19වන සංශෝධනය බකල් කිරීමයි. ඒ සඳහා සංශෝධනයේ හරය අතුගා දැමෙන සංශෝධන දෙකක් රාජපක්ෂගේ වහලුන්ගේ සිරකරුවන් බවට පත්ව සිටි විපක්ෂ නායක නිමල් සිරිපාල විසින් ඉදිරිපත් කරන ලදී. විධායක ජනාධිපති ක්‍රමයේ බලය අහෝසි කරනු වෙනුවට අමාත්‍ය මංඩලය පත් කිරීමේ අසහාය බලය ජනාධිපතිධුරයේම තිබිය යුතුය යන්න පළමුවැන්නයි. ජනාධිපතිවරයා අයත් නොවන පක්ෂයකින් බහුතර බලය ඇති අගමැතිවරයකු පත්වන අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ඒ අනුව අයත් විය යුතුව තිබණේ ජනාධිපතිට ය‍.

දෙවැනි සංශෝධන උගුළ නම් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ව්‍යාජයක් බවට පත් කැරෙන සේ ව්‍යවස්ථා මංඩළය සම්පුර්ණයෙන් ම පාර්ලිමේන්තු මංත්‍රීවරුන් විසින් පිරවිය යුතුය යන්න යි. එසේ වී නම් ජනාධිපති හා අගමැති එකම පක්ෂයකට අයත් වන අවස්ථාවකදී 19වන සංශෝධනයේ සහ රාජපක්ෂගේ 18වන සංශෝධනයේ වෙනසක් නැති වන්නට තිබුණි. එනයින් මෙම සංසෝධන දෙක සම්මත වුයේ නම් 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් වැඩක් නැත.එබැවින් අගමැති වික්‍රමසිංහට එම සංශෝධනයන්ට එකඟ වීමට ඉඩක් තිබුණේ ද නැත. එවැනි තත්වයක් මතු වී සංසෝධනය කුණු කූඩයට ගොස් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ බලය මෛත්‍රී විරෝධී රාජපක්ෂ වහලුන් අතට යාමට ඉඩ තිබුණි.

ජනවාරි 08දායින් පසු පැමිණි ඉතිහාසයේ තීරණාත්මක හොරාවක් අපගේ දේශය අභිමුඛයට පැමිණ තිබුණි. 19වන සංශෝධනය සම්මත කරන සේ ඉල්ලා සිටිමින් ජනාධිපති සිරිසේන විසින් කරන ලද ආයාචනාත්මක ඉල්ලීම ඉතිහාසයේ කුණු කූඩයට යාමට තිබුණේ විනාඩි 30ක් තරම් අල්ප දුරකි. බිහිසුණු නිය සහ ලේ ඉව කැරෙන උල් දත් සහිත රාජපක්ෂ දේශපාලනය යළි බුරා පැනීමට ලක ලැහැස්තිව සිටින්නට ඇත.

අප සියළු දෙනාගේ වාසනාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ ඉතිහාසයේ මෙම තීරණාත්මක හොරාවෙහි අභියෝගය සාධනීය ලෙස බාර ගත්තෝ ය‍. අගමැති බලය හීන කැරෙන සංශෝධනය කිසිසේත්ම බාර නොගැනීම මගින් අගමැති වික්‍රමසිංහ 19 වන සාශෝධනයේ හරය රුක ගත්තේ ය. රාජපක්ෂ වහලුන් වෙනුවෙන් නිමල් සිරිපාල විසින් ගෙන එන ලද එම අගමැති බලය හීන කර ජනපති බලය එළෙසම පවත්වා ගන්නා සංශෝධනය ඉවත් කර ගැනීමට ශ්‍රිලංනිපය එකඟ කරවා ගැනීම මෛත්‍රීපාල සිරිසේන ලද දෙවන ජනාධිපති ජයග්‍රහණය බවට පත් විය. ව්‍යවස්ථාදායක මණ්ඩලය මංත්‍රින් හත් දෙනෙකු සහ සිවිල් නියෝජිතයින් තිදෙනෙකු ලෙසට සංශෝධනය කිරීමට එකඟ වී දෙපියවරක් ඉදිරියට යනු පිණිස එක් පියවරක් පසු පසට ගැනීම මගින් අගමැති වික්‍රමසිංහ සිය රාජ්‍ය තාන්ත්‍රික බව පෙන්වා සිටියේ ය.

ඉතිහාසයෙහි මෙවැනි අවස්ථා දුලභ ය. ඊටත් පවා එවැනි අවස්ථාවන්හිදී නම්‍යශීලිත්වය සහ අමන්‍ය බව එකසේ කළමණාකරනය කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැන්වීමට සමත් දේශපාලන නායකත්වයක් දක්නට ලැබීම ඊටත් වඩා විරල ය‍. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දේශපාලනඥයින් දෙදෙනො සහ බාධා හමුවෙහි ඔවුන් සමඟ එක්ව නැගී සිටි අනෙක් දේශපාලනඥයින් වෙතද අපේ නොවක් ස්තුතිය හිමි විය යුත්තේ අන්න ඒ නිසා ය.

එසේ නමුත් අවසන් වුයේ එක් සටනක් පමණක් බව අප මතක තබා ගත යුතු ය. ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් නොමැකෙන ලෙස පිහිටුවීමේ අරගලය තවම අවසන් නැත. යළි බලය ඩැහැ ගැනීමට කුරුමානම් අල්ලන රාජපක්ෂ සහ රාජපක්ෂ වහලුන් පරාජයෙන් පරාජයට යවන උපායික දේශපාලන ප්‍රහාරය දැන් තියුණු කළ යුතු ය. දැන් පිළිවෙත විය යුත්තේ ආරක්ෂාව නොවේ. දේශපාලනික සහ සමාජීය ප්‍රහාරය යි. දැන් අතර මැද සමාදානයන් අවශ්‍ය නැත. 19වන සංශෝධනයේ ජයග්‍රහණය විසින් හොදම ආරක්ෂාව යනු ප්‍රහාරය වේ යන පිළිවෙත සඳහා සටන් බිම විවෘත කර තිබේ.

ජනපති සිරිසේන සතු දේශපාලන සදාචාරාත්මක අධිකාරයත් රනිල් වික්‍රමසිංහ සතු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හරයත් එම දේශපාලන මුලෝපායේ පළිහ සහ තෝමර බවට පත් කර ගැනෙන ව්‍යාපාරයක් මගින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන්ගේ ඊ‍ළඟ පියවර කරා අප ගමන් කළ යුතු ය.

Back to Top