Sri Lanka Brief
පුවත්විවරණනලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව

නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි? – නිලන්ත ඉලංගමුව

by

මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික ස්වභාවයත් යන කොන් අතර මෙරට දේශපාලනය මෙන්ම මුළු රටම සිර වී තිබේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඉතාම ප්‍රවේශමෙන් සහ වඩාත් බුද්ධිමත්ව කළ යුතු ශල්‍යකර්මයේ පරාමිතිය දිවයන්නේද මේ ඔස්සේය. එබැවින් මේ මොහොත අතිශය තීරණාත්මක සහ සංවේදී වේ.

භෞතික විද්‍යාව පිළිබඳව වූ මහාචාර්ය නලීන්ද සිල්වා, ඔහුගේ ප්‍රවාද කලාව තුළ හෙවත් ඔහුගේ කූඩුව තුළ හැකි උපරිමයෙක් ගොරවනු ලැබූ බුද්ධිමතෙකි. ඔහු බොහෝ දෑ ලියා ඇත. බොහෝ දෑ දොඩා ඇත. එසේම තවත් දෑ ලියමින්ද දොඩමින්ද සිටින්නේය. ඔහුට වශී වූ පිරිස් බොහෝ වෙති. ඔහු මෙරට සිංහල බෞද්ධයින්ගේ ගැලවුම්කරුවා ලෙස දකින පිරිස් බොහෝ වෙති.

එසේම ඔහු වශී වූ පුද්ගලයින්ද බොහෝ වෙති. ඔහු ඔහුගේ ජීවිත කාලයේ වඩාත් ප්‍රභල ලෙස වශී වූ පුද්ගලයා මහින්ද රාජපක්ෂය. නලීන් මහින්දට වහවැටී ඇත. ඔහුට ඒ සඳහා තර්ක බොහෝ වෙති. එසේම තම “විද්‍යාව” තුළ මහින්දගේ විද්‍යාව භ්‍රමණය සහ පරිභ්‍රමණය වීම දැක විශාල පරිමාණයේ විඳීමක් ලබන පුද්ගල වස්තුවක් ලෙස නලින්ද සිල්වා දැකිය හැකිය.

ඔහු අද ( අප්‍රේල් 27) මාධ්‍ය හමුවක් කැඳවා තම විඳීමට බාධා කරන්නාට හැකි උපරිමයෙන් බැනවැදී ඇත. ඔහු මාධ්‍යට කතා කිරීම පමණක් නොව සෑම දේම කරන්නේ තම පෞද්ගලික ආසාව සංතෘප්ත කර ගැනීම සඳහාය. නමුත් එය කිසිම දිනෙක සංතෘප්ත නොවේ. ඊට හේතු තිබේ.

ඔහු කතා කරනු ලබන්නේ, අනෙකාද තමන් යැයි සිතාගෙනය. වෙනත් වචන වලින් කිවහොත් මහාචාර්ය නලින් කතා කරන්නේ මහාචාර්ය නලින්ලාට මිස රටේ ජනතාවට නොවේ. එය ඔහුගේ එකම වින්දනය සහ ජොලිය වේ.

ඔහු යම් කිසි තැනක වාඩි වේ. එවිට ඔහු වටා ඒකරාශී වන පිරිසක් සිටිති. මහාචාර්ය නලීන් තමන් වටා සිටින සියලුම දෙනා තමන් යැයි සිතින් මවාගෙන කතා කරනු ලබයි. මෙය උමතුවේ සංකීරණ අවස්ථාවක් වුවද ලංකාවේ, රාජපක්ෂගේ දේශපාලනය තුළ, වැඩි ඉඩක් ආක්‍රමණය කරගෙන තිබුණේ එවැනි සංකීර්ණයක් විසිනි. ඊට හේතු තිබේ.

එසේම, මතුපිට තලය තුළ, රාජපක්ෂගේ දේශපාලන බලය පැතිරවීමේ එකම නිර්ණායකය වූයේද එයයි. සාටකය පැළඳ වූ කුඩා පාසල් දරුවන් විශාල පිරිසක් එම ඇඳුම තම සංඛේතය බවට පත් කරගත් “මහින්ද” මාමාට,  පසුබිමින් ඇසෙන සංගීතයකට අනුව යමින්, බුලත් දී වන්දනාමන කරණ විට ලොකු විඳීමක් ලැබේ. එම විඳීමම මහාචාර්ය නලීන්ට සුරාන්තයට මාර්ගය වේ. ඔහුට තම වින්දනය සඳහා කොට්ට, මෙට්ට හෝ පැදුරු අවශ්‍ය නැත. මහා පාරේ දෙනෝදාහක් ඉදිරියේ වුවද එය ලැබිය හැකිය. නුගේගොඩදී මෙන්ම මහනුවරදී එය වින්දේය. ඒ සඳහා සජීවී මාධ්‍ය ආවරණයක්ද ලැබුණි. එමඟින් තම සතුට දිරේ ගලා ගියේය. මෙහි දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීමෙන් නලීන්ව තේරුම් ගත හැකිය. නලීන් තේරුම් ගත යුත්තේ, ඔහු සමඟ විවාදයකට යෑමට නොවේ. එනම්  ඔහු නියෝජනය කරණ සංස්කෘතික රෝග ලක්ෂණය පැළපදියම් වූ එකක් වන අතර නලීන් යනු එහි එක් නියෝජනයක් පමණි.

නමුත් රාජපක්ෂ කළ කෛරාටක උපායක් මෙහි වේ. එනම්, මහාචාර්ය නලීන් වැනි අතිශය “ගැඹුරු සිංහල බුද්ධිමතුන්” මතුපිට තලය මත තබා දෙවන සහ තෙවන තලයන් වලට ඒ ඒ විෂයට සරිලන අයවලුන් දමා තම පෞද්ගලික බලය විස්තාරණය කර ගැනීමය. නිවාඩ් කබ්රාල්ගේ සිට තම පුතුන් ඔස්සේ ජේම්ස් පැකර් දක්වා වූ සම්බන්ධයේ ඇති රසායනය මෙයයි. මෙය රට තුළ මෙන්ම ලංකාවේ තානාපති සේවාව ඔස්සේ වෙනත් රටවටද විහිදුවනු ලැබුවේය. වේලුපිල්ලේ ප්‍රභාකරන්, දේශපාලන අර්ථයෙන් කළ බොහෝ දෑ රාජපක්ෂ තම පෞද්ගලික පවුල් සංස්ථාව අරම්භයා සිදු කළේය.

දේශපාලන ව්‍යපෘති ලංකාවේ අතිශය අසාර්ථක සහ පාවාදෙනන්ගේ ගොදුරු පමණක් බවට පත්වේය යන, නිශ්චිත විශ්වාසය රාජපක්ෂ තුළ තිබුණා සහ තිබෙනවා විය හැකිය. නලින් නොදකින හෝ දකින බව රටට කීමට අකැමති රාජපක්ෂ දේශපාලනයේ සැබෑ ගතිය එයයි. මෛත්‍රී නායකයෙකු හෙවත් රටට පහල වූ දුර්ලභ වටිනා මිනිසෙකු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමේ කුහකකම ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලය ලෙසය.

ලංකාවේ ඉතිහාසය පුරාම දැක ගත හැකි, ඛේදවාචකය මෙයයි. අද දින පැවති මාධ්‍ය හමුවේදී ඔහු සහ බෙංගමුවේ නාලක හිමි අනෙකාට යැයි කියූ අටුවා ටීකා කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමන්ටම කියා ගෙන තම හෙලුව දැක ගත හැකිනම් එය රටේ වාසනාවකි.

මොවුන්ගේ රෝග ලක්ෂණ වඩාත් මැනවින් අවබෝධ කරගනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකි. එක් අයෙක්නම් වේලුපිල්ලේ ප්‍රභාකරන්ය, අනෙකා වූ කලී මහින්ද රාජපක්ෂය. නලින් ඇතුළු පිරිස වින්දනය ලබන දේශපාලනය, ප්‍රභාකරන් විසින් දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කළේය. රාජපක්ෂ පවුල් අවශ්‍යතාවය වෙනුවෙන් භාවිතා කළේය. දැන් උදා වී ඇත්තේ, ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන මහාචාර්ය නලීන්ට වැළඳී ඇති රෝගයට ප්‍රතිකාර කර ගැනීම සඳහා අවශ්‍ය නිදහස් අවකාශය සහ ඖෂධ ලබා දීමය. යහපාලනය වූ කලී එයයි.

තම රෝගය අර්ධ වශයෙන් හෝ සුව වූ පසු, නලීන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ ඔහු මහින්දෝදයෙන් සතුටුවීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “නිල” වශයෙන් කැඩීමේ ආසාව පසෙකලා එකතු විය යුත්තේ සෝමවංශ අමරසිංහ තැනීමට යන්නේ යැයි කියන නව දේශපාලන පක්ෂය සමඟය. මන්ද මෙවැනි රෝග නිට්ටාවට සුව කළ හැකි දෑ නොවේ.

Back to Top