Sri Lanka Brief
පුවත්විවරණදැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

by

18 වැනි දැයට කිරුළ පැවැත්වීමට ඊට පෙළ ගැසුණු දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් කැසපට කවද්දී දින සීයේ වැඩසටහන යටතේ රටට ජනතාවට, රුපියලක්‌ නොවටිනා නමුත් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ වැයකළ දැයට කිරුළ වැඩසටහන මෛත්‍රි පාලනයෙන් අහෝසි කර දැම්මේය. මේ යහපාලනයේ ආරම්භයයි.

කිසියම් ප්‍රදේශයක සේවය කරන මාධ්‍යවේදීන් යනු පත්‍රයකට වාර්තාවක්‌ ලියන වාර්තාකරුවකු පමණක්‌ නොවේ. ප්‍රදේශයේ පවත්නා සම්පත් ගැන හා ඒවායින් යහපාලනයකට යොදාගත හැකි සම්පත් පිළිබඳව පාලකයන් දැනුවත් කරන දේශ හිතෛෂීව දැනුවත් වූ පිරිසකි.

මගේ මතකයේ හැටියට 12 වැනි දැයට කිරුළ පැවැත්වීමට තෝරාගනු ලැබුවේ අනුරාධපුරයයි. අනුරාධපුරය වසර දහසකට වැඩි කලක්‌ රජවරුන් සියයකට වැඩි පිරිසක්‌ රජකම් කළ අගනුවර විය. මෙහි පොළොව මතුපිට මෙන්ම පොළොව යටද අසීමිත ධන ධාන්‍ය සැඟවී පවතී.

දැයට කිරුළ වැනි මහජනයා පැමිණිය යුතු වැඩසටහනක්‌ ස්‌ථානගත විය යුත්තේ මහජනයාට පහසුවෙන් පැමිණිය හැකි මාර්ග පහසුකම් හා වෙනත් පහසුකම් පිsරී ඇති ස්‌ථානයකය. අක්‌කර දහසකට වැඩි ප්‍රමාණයක්‌ විවිධ ගොඩනැඟිලි 300 කට වැඩි ප්‍රමාණයක්‌ සේවක මණ්‌ඩලය 300 කට වැඩි ප්‍රමාණයක්‌ ඇති මහඉලුප්පල්ලම බෝග පර්යේෂණ ආයතනය හෝ ඊට යාව පිහිටි සේවාස්‌ථ පුහුණු මධ්‍යස්‌ථානය දැයට කිරුළ සඳහා තෝරාගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. මෙම ආයතනවල ඇතිතරම් ආගන්තුක නොවන ජල පහසුකම්, විදුලි පහසුකම්, දුරකථන හා ගුවන්විදුලි පහසුකම් අඩුවක්‌ නැතිව පවතී. වැදගත්ම කාරණය වන්නේ මේ ආයතන දෙකම පිsහිටා ඇත්තේ අනුරාධපුර නුවර හා කොළඹ යන මාර්ගයට යාබදවය. මේ ගැන දැන්වීමෙන් පසුවවත් නිලධාරීන් මේ ආයතන ගැන ඇහැක්‌ ඇර බැලුවේ නැත. ඊළඟට සාලියපුර තවත් අතිවිශාල ගොවිකම් පුහුණු මධ්‍යස්‌ථානයක්‌ පවතී. ඒවගේම දඹුල්ල ආසන්නව පිහිටි පැල්වැහැර ගොවිපළද මහවැලි එච්. කලාපයේ තඹුත්තේගම ගොවි නිලධාරීන් දෙතුන් සීයක්‌ විසූ එප්පාවල මහවැලි කඳවුරද තෝරා ගැනීමට ඉඩ තිබිණි. මේවායේ ජල විදුලි පහසුකම් අඩුවක්‌ නැතිව පවතී. මේ සම්පත් පිරුණු මධ්‍යස්‌ථාන ගැන දැයට කිරුළ බලධාරීන්ට පෙන්වා දුන් නමුත් ඔවුන් ඒවා කනකටවත් ගත්තේ නැත.

ඔවුන්ගේ ඉලක්‌කය වූයේ කුවේණි

රැජිනියගේ රාජධානිය වුවා යෑයි ජනප්‍රවාදයෙන් කියවෙන ඔයාමඩුව ප්‍රදේශයයි. ඔයාමඩුවේ එක්‌කොනක රජයේ සත්ත්ව ගොවිපළ පවතී. අනික්‌ පැත්තේ අක්‌කර 600 ක්‌ තරම් වූ කුවේණි රැජින විසූ රාජධානිය ලෙස හැඳින්වෙන කොටස පැවතුණි. මේ කොටස කළුවර, බුරුත, මිල්ල ආදී ගහකොළවලින් පිරීගිය මූකලානකි. කුවේණි රැජිනියගේ දේවාලය පිහිටා ඇත්තේද ඔයාමඩුව හන්දියේය. මේ ප්‍රදේශයට ජල විදුලි පහසුකම් හෝ වෙළෙඳ ව්‍යාපාර පහසුකම් කිසිවක්‌ නොවීය. තනිකරම බියජනක පාළු ප්‍රදේශයකි. අලි ඇතුන්ද වෙනත් වන සතුන්ද මේ මහ කැලය නිජබිම කරගෙන තිබිණි. කැලය පාමුල ඔවුන්ගේ දියකෙළියට කුවේණි රාජ යුගයේ බඳින ලද කුඩා වැවක්‌ද විය. මේ ප්‍රදේශය සැබැවින්ම යකුන්ට හා වන සතුන්ට සුදුසු ප්‍රදේශයක්‌ විය. අනෙක්‌ පැත්තෙන් මහවිලච්චිය තන්තිරිමලේ, සඳගල්පාය, මන්නාරම හන්දිය ආදී ප්‍රදේශවලින් ආක්‍රමණකකාරීව ගලාඑන මිටි ගස්‌වලින් යුක්‌ත කාන්තාරීකරණය පැතිරී එන ප්‍රදේශයකි. ඔයාමඩුව දැයට කිරුළ ලෙස තෝරාගනු ලැබුවේ එක්‌තරා ඇමැතිවරයකුගේ දැඩි නිර්දේශය මතය. අභිබවා යන්නට කිසිවකු සමත් නොවීය. දැයට කිරුළේ ප්‍රතිනිර්මාණ කරු ලෙස එය සඳහාම පත්කර එවූ රාජ්‍යයේ කාර්යශූරයකු ලෙස නමක්‌ ගෙන සිටි දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා වැඩට මුලපිරූ නමුත් බලගතු දේශපාලන අමාත්‍යවරයාගේ හස්‌තය අභිබවා යන්නට ඔහු සමත් නොවීය.

මේ නිසා දැයට කිරුළ වෙනුවෙන් ඔයාමඩුවේ කුවේණි කැලය තඩිගසන්නට විය. දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ගෙනැවිත් වටිනා වෘක්‌ෂ රාජයන් පෙරළා දමා බිමේ කඳු පල්ලම් සමතලා කොට හතර අතින් මාර්ග දමා ජලය හා විදුලිය ලබාගෙන අක්‌කර 600 ක බිමක්‌ දැයට කිරුළ බිමට රජයේ මහජන මුදලින් සැලසුම් කරනු ලැබීය. ඒ බිම බොරළු වලින් පිරී පැවැතියේය. යාබද ප්‍රදේශවලට වඩා උස්‌බිමක පිහිටා ඇති නිසා ජලසම්පාදනය දුෂ්කර විය. ඒනිසා ඔයාමඩුවේ පාර අසබඩට වන්නට වැවක්‌ ඉදිකොට උත්සවය පැවැති දිනවල යටත්තාවේ පිහිටි ස්‌වාභාවික වැවෙන් මෙම කෘත්‍රිම වැවට ජලය පොම්ප කරන ලදී. හිටපු ජනාධිපතිතුමන් දැයට කිරුළට පැමිණි දිනවල මේ කෘත්‍රිම වැව අපූරුවට ජලයෙන් පිරී පැවතිණි. ඔයාමඩුව දැයට කිරුළ විවෘත කිරීමට යායුතු කෙටි මග දෙපස අලංකාර කොට බිමට පිඟන් ගඩොල් අල්ලා අලංකාර ලෙස සකස්‌ කර තිබිණි. විවෘත කිරීමට සකස්‌ කර තිබූ ස්‌මාරක පුවරුව අත්‍යාලංකාර ලෙස පිඟන් ගඩොලින් සකස්‌ කොට අකුරු පුවරුව ඉස්‌මතුකොට අපූරුවට නිර්මාණය කර තිබිණි. ස්‌මාරක පුවරුව ඉදිරියෙන් වතුර පිරුණු වැව, අවට මල්වතු දුර බැහැර එළවළුකොටු, කුරහන් මුං ආදි ධාන්‍ය නොයෙක්‌ දේ ලස්‌සනට වවා තිබිණි. නුවරඑළියේ පමණක්‌ වැවෙන ගෙඩි ගෝවා, කැරට්‌ වැනි දැ මේ බොරළු බිමේ අපූරුවට වගාකර තිබිණි. දිවයිනේ හතර දිග් බාගයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගේ ප්‍රදර්ශන දේ ඒ සඳහා කාර්ය මණ්‌ඩල පැමිණ සිටියහ. සුළු සුළු සේවකයන් යාබද පැල්පත් බඳු නිවාස වල රුපියල් දෙතුන් සීය ගෙවා නවාතැන් ගත් අතර කළමනාකරණ මට්‌ටමේ නිලධාරීන් ඔයාමඩුවේ සිට සැතපුම් 18 ක්‌ දුර ගෙවා අනුරාධපුර සංචාරක හෝටල්වලට පැමිණ ඒවායේ දින ගණන් ආහාර පාන සමග නවාතැන් ගත්හ. සමහර දිනක දිනපතා ඔයාමඩුවට යනෙන වාහනවලට තෙල් ගැනීමට ඔයාමඩුවේ තැනක්‌ නොවීම නිසා ඔයාමඩු නිලධාරීන් සඳහාම ඔයාමඩු හන්දියේ ඉන්ධන බෙදාහරින මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවනු ලැබීය. අනෙක්‌ කාරණය වූයේ අනුරාධපුර ඔයාමඩුවේ දැයට කිරුළ පැවැති සතියක කාලය තුළ අනුරාධපුරයේ එකම සංචාරක හෝටලයකවත් ඉඩ කඩ නැතිවීමයි.

අපරාධයක නටඹුන්

අපරාධයක නටඹුන්

මෙහිදී අත්දුටු එක්‌ සිද්ධියක්‌ මතක්‌ වේ. එක්‌ අමාත්‍යාංශයක ඉහළම පෙළේ නිලධාරියාට උත්සවයේදී පැළඳවීම සඳහා අලුතෙන්ම මිලදී ගත් පාවහන් යුවළ කොළඹ නිවසේ සිට අනුරාධපුරයට ගෙන ඒමට අමතක විය. පසු දින උදයෙන් ජනාධිපතිතුමන් දැයට කිරුළ විවෘත කිරීමට පැමිණීමට නියමිතය. මෙම නිලධාරියා සිය රියෑදුරුට කතාකොට සිය වාහනයෙන් කොළඹ ගෙදරට ගොස්‌ ඒවෙලේම සිය අලුත් පාවහන් දෙක
රැගෙන ඒමට නියම කළේය. ඒ පාවහන් දෙකට වැයවූ වියදම කොළඹ ගොස්‌ ඒමට යන වියදමට වඩා අතිශයින්ම අඩුය. නමුත් වාහනයේ ඉන්ධන වියදම නිලධාරියාගේ නොවේ. මහජනයාගේය.

මේ නිලධාරි පැලැන්තියට මෙම දැයට කිරුළ කාලය රජයෙන් ලොකු මුදලක්‌ ද ලබාගෙන සුරසැප විඳිමින් විවේක ගත හැකි අපූරු කාලපරිච්ඡේදයක්‌ විය. ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා නූල් පොටක්‌ තරම ඔයාමඩුව දැයට කිරුළෙන් ගත්තේ නැත. ඔවුන්ගේ වතුර බෝතලය පවා ලබා ගත්තේ අනුරාධපුර සංචාරක හෝටල් වලිනි. ඒ දිනවල අනුරාධපුර සියලුම සංචාරක හෝටල්වල රාත්‍රි 7,8,9 වන විට සියලු මත්පැන් හිස්‌වී තිබිණි.

අනුරාධපුරයට රංග ශාලාවක්‌, ඉඩ ඇති දුම්රියපළක්‌, උසස්‌ මධ්‍ය විද්‍යාලයක්‌, අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක්‌ හා වෛද්‍ය විද්‍යාලයක්‌, මාධ්‍යවේදීන්ට නිවාස යෝජනා ක්‍රමයක්‌ ආදිය දැයට කිරුළ හරහා ලබාදෙන බවට වේදිකාවල බෙරිහන් දෙන ලද නමුත් තවමත් ඒ එකක්‌වත් නියමාකාරයෙන් සැලසී නැත. ජනාධිපතිවරණය ළංවෙද්දී යතුරුපැදි පන්දහසක්‌ පමණ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට රුපියල් පනස්‌දහසේ අඩු මිලට බෙදාදීම පමණක්‌ සිදු කෙරිණි. එය දැයට කිරුළ වැඩසටහන්වලින් පරිබාහිර වූවකි.

සතියක දැයට කිරුළින් පසුව ඒ ඒ දෙපාර්තමේන්තුවලින් රැගෙන ආ බඩු මුට්‌ටු, ලෑලි, දොරවල්, තහඩු, පුටු මේස ආදිය සුළු නිලධාරීන් විසින් රැස්‌කරනු ලැබ ඒ සියල්ලම ඔවුන් ආපසු ගෙන යන ලදී. දැයට කිරුළ නමින් ඒ වියදමින් ඉදිකරන ලද විශාල ශාලා 24 ක්‌ පමණ දැයට කිරුළ බිමේ ඉතුරු විය. එසේම තාවකාලිකව මවා පෙන්වූ බඩ ඉරිඟු, කුරහන් ආදී වගාවන් ස්‌වල්පයක්‌ දැයට කිරුළ බිමේ ඉතිරි වී තිබිණි. දැයට කිරුළ බිමේ පැවැති වසර සිය ගණන් පැවැති වෘක්‌ෂ රාජයන් ආගිය අතක්‌ නැතිවිය. දැන් ඉතිරි වී ඇත්තේ උසට නොවැඩෙන මුරුංගා, කටුපඳුරු, කටුමිරිස්‌ වැල්, තෝර, නෙරෙංචි, එඬරු වැනි මිටි ගහකොළය. ඒවායින් සනාථ වන්නේ සඳගලපාය වැනි ප්‍රදේශවලින් හමා එන කාන්තාරීකරණය දැයට කිරුළ බිමද ආක්‍රමණය කරන බවයි.

මීට අමතරව ඉතිරි වී ඇති ගබඩාවල වී ගබඩා කිරීමේ වැඩපිළිවෙළක්‌ සැලසුම් කරන ලද නමුත් මහවිලච්චිය ප්‍රදේශයෙන් උපදවන වී පුරවන්නට එක ගබඩාවකුත් වැඩි තරම්ය. මේවා පිරවීමට නම් අනුරාධපුරයේ අනෙක්‌ ප්‍රදේශවල වී දුර බැහැර සිට අමතර සැතපුම් 18 පමණ ගෙවා ඔයමඩුවට පැමිණිය යුතුය. ආපසු වී ගෙන යැමේදී ඒ දුරම යා යුතුය. මේ නිසා වී ප්‍රවාහනය කිරීමේ ගැටලුව නිසා ඒ වැඩ පිළිවෙළඳ සාර්ථක වී නැත. අසල්වැසි ගම්වල පැල්පත් වාසීන්ට විධිමත් ලෙස දොරක්‌ වහගෙන නිදාගත හැකි ගෙයක්‌ බැගින් සාදාදෙන බවට දැයට කිරුළ ගිවිසගෙන ඇතත් එයද ඉටු වී ඇත්තේ ආවාට ගියාටය.

අන්තිමට දැන් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හලක්‌ දැයට කිරුළ බිමේ පිහිටුවා ඇත. මෙහි ක්‍රියාකාරිත්වය නිසා පරිසරයට සිදුවිය හැකි හානි සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ බහුතර ජනතාව සේම සමහර දේශපාලකයන්ද මේ ක්‍රියාදාමයට විරුද්ධ වී ඇත. රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් එය කරවන බවට දැන්වීම් පුවරුවේ සඳහන් වෙතත් ගොඩනැඟිල්ල වෙන්වී ඇතිවා මිස එය කරන කරවන බවක්‌ දක්‌නට නොවීය.

බොහෝ අමාරුවෙන් කැලය පීරාගෙන ගොස්‌ 2012 දී ජනාධිපතිතුමා මෙහි පැමිණ දැයට කිරුළ විවෘත කරන ලද ස්‌ථානයට ගියෙමි. ඒ දිනවල අක්‌කර 600 ක්‌ තරම් වූ භූමිය හනුමන්තා හිමාලයෙන් කොටසක්‌ ගලවාගෙන ආවාක්‌ මෙන් දිව්‍ය ලෝකයෙන් කොටසක්‌ ගලවාගෙනැවිත් දැයට කිරුළ කැලෑබිමේ ස්‌ථානගත කළාක්‌ මෙන් බැලූ බැල්මට පෙනිණ. එසේම දැයට කිරුළ විවෘත කිරීමට සූදානම් කළ ස්‌ථානය ශ්‍රක දෙවියන්ගේ පාණ්‌ඩුකම්බල ආසනය පිහිටුවා ඇති තැන මෙන් අති සුන්දර ගරු ගාම්භීර විය. දුටුවන් සිත් වසඟ කරන අවට මල් වගා ඉදිරියේ කෘත්‍රිමව වතුර පිරවූ වැව අනුරාධපුරයේ බයියන්ට පෙන්වීමට ගෙන්වූ ගුවන් යානා, පිඟන් ගඩොල් ඇල්ලූ පියමඟ පටන් ගන්නා තැන දෙපස පුන් කළස්‌ විවෘත කිරීමේ දැන්වීම සවිකර තිබූ වෛවර්ණ¹දුඟන් ගඩොලින් නිමකර ඇති දර්ශනීය පැතලි කුළුණ මේ ආදී වශයෙන් හේවිසි හොරණෑ පංචතූර්ය නාදය මැද වැඩම වන්නට අති සුන්දර ලෙස මෙම ස්‌ථානය සූදානම් කර තිබිණ. දෙනෝදහක්‌ පොරකකා සිටියදී සංඝරත්නයේ පිරිත් දේශනා මැද ජනාධිපතිතුමා විසින් ඔයාමඩුව දැයට කිරුළ විවෘත කරන ලදී.

සුළු මොහෙතකට රාජ්‍ය නායකයා පිනවන්නට රුපියල් ලක්‌ෂ 5 ක්‌ පමණ වැයකොට ඉදිකළ මේ අති සුන්දර ස්‌ථානයට වියදම් කර ඇත්තේ මහජන මුදල්ය. අද මේ ස්‌ථානය දකින විට මහජන මුදල් සමග දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් පෙම් කෙළින හැටි පෙනෙන විට සැබැවින්ම හදවත් කම්පාවී කඳුළු වැගිරෙන තරම්ය.

ඉහත සඳහන් කළ පරිදි මෙම අක්‌කර 600 ක භූමි භාගයක පැවති වසර සිය ගණන් පැරණි වෘක්‌ෂ රාජයන් දකින්නට නැත. අද මුළු ඉඩම පුරාම දකින්නට ලැබෙන්නේ පිල, නිදිකුම්බා, හිඟුරු, හිඟුරුවල්, කටුපඳුරු ආදි මිටිගස්‌වලින් මුළු බිමම වසාගත් කැලෑවකි. තැනින් තැන ඉතිරි වී ඇති ගබඩා ගොඩනැඟිලි සමහර සමාගම් විසින් බදුගෙන ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන බව පෙනෙන්නට තිබිණි.

දැයට කිරුළ බිම තුළ ඉදිකරන ලද කාපට්‌ පාරවල් සමහරක ගල් ගැලවී ගොස්‌ ඇත. විශේෂයෙන් දැයට කිරුළ මුල්කොට ප්‍රදේශයේ මාර්ග කාපට්‌ අතුරා ප්‍රතිසංස්‌කරණය කරන බවට පුරාඡේරු කියන ලද නමුත් අද එසේ ඉදිකළ බොහෝ මාර්ගවල කාපට්‌ අතුරනය ගැලවී ගොස්‌ කළුගල් කැට මතුවී තිබේ. විශේෂයෙන් මන්නාරම හන්දියේ සිට තන්තිරිමලේ හරහා සෙට්‌ටිකුලම දක්‌වා ඉදිකරන ලද කාපට්‌ පාර, නොච්චියාගම හරහා ඉස්‌ගස්‌පොතාන මැදින් තලාවට යන කාපට්‌ පාර යන මේවායේ කාපට්‌ අතුරනය ගැලවී ගොස්‌ හැමතැනම පාහේ කළුගල් කැට මතුවී තිබේ. දැයට කිරුළ පටන්ගත්තේ 2012 දිය. අද වන විට මේ මාර්ගවලට අත්වී ඇති ඉරණම දකින විට අනේ අපේ මහජන සල්ලි” යන වේදනාත්මක හැඟීම් ඇති වේ. අද මේ පාලු කාන්තාරයේ පොලිස්‌ මුරපළක්‌ ඉන්ධන බෙදාහරින තැනක්‌, අතන මෙතැන පිහිටි ගබඩා ගොඩනැඟිලි කීපයක්‌ සමග යුද්ධයකින් පාලුකර විනාශ කර දැමූ ගම්මානයක්‌ සේ බැලූ බැල්මටම පෙනේ. ආයතනය පුරාම මහජන මුදල් පීන පීන ගොස්‌ ඉදිකරන ලද බොහෝ දේවල් නටබුන් පමණක්‌ අද දක්‌නට ලැබේ. ඉහතින්ද සඳහන් කළ පරිදි මෙහි පැවැති වසර සිය ගණන් පැරණි වටිනා ගහකොළ විනාශ වී ගොස්‌ බැකෝ යන්ත්‍ර යොදාගෙන තැනින් තැන හාරා ඇති ලොකු වළවල්වල පස්‌ සේදී ගොස්‌ යටාවතේ පිහිටි කුවේණියගේ වැව පිරී යන්නට පටන්ගෙන ඇත.

අද ආයතනයට අඩිය තැබූ ගමන්ම ඔලුවට වහ වැටෙන්නේ ජාතියේ මුදල් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ ජනතාවගේද ගමේද, පරිසරයේද අවශ්‍යතාවක්‌ නැතිව දේශපාලකයන්ගේ සහ රජයේ ඉහළ කළමනාකරුවන්ගේ මනදොළ පුරවාගන්නට කරන ලද විනාශයක තරමය. මේවා මෙහෙයවන්නට හා රැකබලාගන්නට පත්කර සිටි නිලධාරියා ඇහැ, කන, කට බැඳ තබන ලද දේශපාලකයන්ගේ වුවමනාවට පමණක්‌ අවදි වන සුළු නිලධාරියෙකු විය. අප මෙවැනි ජාතියේ ධනය කම්බස්‌ කර දමන දේශපාලකයන්ගේ සහ රාජ්‍ය ඉහළ කළමනාකරුවන්ගේ “පෙම්කෙළි” පවත්වාගෙන යන හිතුවක්‌කාර වැඩ වහාම නැවැත්විය යුතුවාක්‌ මෙන්ම සංවර්ධනය යෑයි ජනතාවගේ මුදල් සමග සෙල්ලම් කරන වැඩ පටන්ගන්නට පෙර රජයේ අනුමැතිය ලබාගත යුතු ඉහළ මණ්‌ඩලයක්‌ පවත්වාගෙන යැම රටට හිතකරය.

(මෙම ලිපියට කරුණු හා ඡායාරූප රැස්‌ කිරීමට සහය දුන් තලාවේ ලක්‌ෂ්මන් ජයවර්ධන මහතාට ස්‌තුතිය.)
එප්පාවල – රත්න බී. ඒකනායක
– දිවයින

Back to Top