Sri Lanka Brief
විවරණවිශ්ලේෂනඅනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල

අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල

by

ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන “සත්‍යාගාරය” වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් බ්‍රහස්‌පතින්දා විකාශය වීමට නියමිතව තිබූ සත්‍යාගාරය අත්හිටුවනවා. ඔබ මුලින්ම කියන්න… සත්‍යාගාරය තවදුරටත් අත්හිටුවලාද?

තහනමක් නොවේ නම් කුමක්ද?

තහනමක් නොවේ නම් කුමක්ද?

සත්‍යාගාරය මෙගා නාට්‍යයක්‌ වගේ දිගට කරන්න අදහසක්‌ නෑ. සත්‍යාගාරය කොටස්‌ දහයකින් හෝ එකොළහකින් මම නවත්වනවා. හැබැයි සත්‍යාගාරය කිසිම බලපෑමකින් මම නවත්තන්නේ නෑ. මොකද සත්‍යාගාරය කරද්දි මම කිසි කෙනකුට බය නෑ. ඒත් මම යම් දේකට බයයි. හෘද සාක්‍ෂියට බයයි. මම සත්‍යයට බයයි. රටේ පවතින නීතියට බයයි. ඒ කාරණා තුනට හැර මම කිසිවකට යටත්ව සත්‍යාගාරය කරන්නෙ නෑ. ඒ නිසා කාගෙවත් බලපෑමකට යටත්වෙලා මම සත්‍යාගාරය නවත්තන්නෙත් නෑ.

ගියවර සත්‍යාගාරයට ඔබ සූදානම්වුණේ ඉතා කුතු-හලය දනවන සුළු ප්‍රචාරක උපක්‍රමයක්‌ සමඟ එහිදී සත්‍යාගාරයේ හෘද සාක්‍ෂිය විවරකරන පුද්ගලයා පූර්ව හෙළිදරව් කළ නොහැකි බව කියමින් ප්‍රේක්‍ෂකයාගේ කුතුහලය ඇවිස්‌සුවා. හැබැයි ඒ ප්‍රේක්‍ෂකයන්ට “කනගාටුයි” කියා වත් නොකියා වැඩසටහන නැවැත්තුවා. වැඩ සටහනේ සන්නිවේදකයා වශයෙන් ඔබ දැන් ප්‍රේක්‍ෂකයන්ට දෙන පිළිතුර මොකක්‌ද?

එකක්‌ තමයි සත්‍යාගාරය විකාශය නොකරන්න තීරණය කරන්නේ නවයට. පළවෙනි වතාවට සත්‍යාගාරය ආයතනයෙන් පිට පටිගත කළ එකක්‌ තිබුණේ. නෛතික කාරණා මත සත්‍යාගාරය විකාශය වෙන්නෙ නෑ කියල දාන්න ප්‍රචාරක පටයක්‌ හදල තිබුණා. මම දන්නෙ නෑ එය ප්‍රචාරය වුණාද කියල. මම යෝජනා කළා හරියටම රාත්‍රි නවයවෙද්දි අද සත්‍යාගාරය විකාශය වන්නේ නෑ කියල ප්‍රචාරය කරන්න . ඒක සභාපතිතුමා සහ මම එක්‌ව ගත්ත තීරණයක්‌. ඒ විකාශය නොවන වැඩසටහන ගැන ප්‍රේක්‍ෂකයා දැනුවත් කරන්න කියා ප්‍රචාරක පටයක්‌ හැදුවා. එය විකාශය නොවුණා නම් ඒක මගේ වරදක්‌ නොවෙයි. එය ස්‌වාධීන රූපවාහිනී ආයතනයේ නිලධාරින්ගේ වරදක්‌.

ප්‍රේක්‍ෂකයාගේ අපේක්‍ෂා භංගත්වය ගැන ඔබ මොකද කියන්නෙ?

අතිශය කනගාටුයි. ඒ විකාශය නොවුණ වැඩසටහන විකාශය නොවුණේ නීතිමය හේතු මත. ඒ නීතිමය හේතු යට මගේ හෘද සාක්‍ෂිය සහ මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවකුත් තිබුණා. ආයතනික මට්‌ටමින් ඒ ගැටලු තුනම නිරාකරණය නොවුනොත් වෙනයම් මාධ්‍යයකින් මේ වැඩසටහන මම ප්‍රේක්‍ෂකයන්ට බලන්න සලස්‌වනවා. ඒකට අවශ්‍ය මාධ්‍ය දැන් ලෝකෙ ඕන තරම් තියෙනවා. උදාහරණයක්‌ විදිහට යූ ටියුබ් එක වුණත් මට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී බලපාන්නෙ මගේ නීතිමය කාරණා නිරවුල් වීම. ඒ නිරවුල් වූ මොහොතේම මම මේ වැඩසටහන අන්තර්ජාලයට මුදා හරිනවා. එතකොට මට ප්‍රේක්‍ෂකයාට සාධාරණයක්‌ කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.

වැඩසටහන විකාශය නොවුනෙ නීතිමය කාරණා නිසා කියා ඔබ කියන්නෙ, වැඩසටහන පටිගත කරන්න කලින් ඒ නීතිමය කාරණා ගැන ඔබ නොදැනුවත් ද?

රටක තියෙන නීතිමය තහංචි බිඳගෙන මාධ්‍යවේදියෙකුට ගවේෂණාත්මක මාධ්‍ය කලාවක නිරතවෙන්න පුළුවන් කියන ස්‌ථාවරයේ මම ඉන්නවා. එතනදී ගවේෂණාත්මක මාධ්‍ය කලාව තුළ මාව අධිකරණයට හෝ සී.අයි.ඩී.යට කැඳවනවා නම් හෝ මම දඬුවම් ලැබිය යුතු වරදකාරයෙක්‌ වෙනවානම් හෝ ඒක රටේ පවතින නීතියෙ ගැටලුවක්‌ මිසක්‌ මගේ හෘද සාක්‍ෂියේ ගැටලුවක්‌ නොවෙයි. මගේ කාර්ය මාධ්‍යවේදියෙක්‌ විදියට මේක කරන එක. අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයාව මාධ්‍යවේදියෙක්‌ සම්මුඛ පරීක්‍ෂණයට ලක්‌කරල එය විකාශය කළා. ඒ සම්බන්ධයෙන් රටේ නායකයෙක්‌වත් ඒ රටේ මිනිස්‌සුවත්, ගරිල්ලා සංවිධානයට විරුද්ධ අයවත් මාධ්‍යවේදියාව ප්‍රශ්න කරන්නෙ නෑ. ඒක මාධ්‍යවේදියාගේ කර්යය. අල්-ජසීරා රූපවාහිනිය බින් ලාඩන්ගේ සම්මුඛ සාකච්ඡාවක්‌ විකාශය කළා. හැබැයි ඇමරිකාව බින් ලාඩන්ව ඝාතනය කළා මිස මාධ්‍යවේදියාව ඝාතනය කළේ නෑ. එල්.ටී.ටී.ඊ.ය තහනම් සංවිධානයක්‌ව තිබියදී ඉන්දියානු දමිළ මාධ්‍යවේදීන් රෝ ඔත්තු සේවය හරහා ප්‍රභාකරන්ව ඉන්ටවීව් කළා. ලෝක දේශපාලනයේ සිද්ධවෙන්නෙ එහෙමයි. ලෝකයේ වාමාංශික දේශපාලනයේ නිරතවන අය දේශසීමා ගැටලුá ප්‍රාන්ත ගැටලු එක්‌ක එකතුවෙලා නොවෙයි දේශපාලනය කරන්නෙ. ෙච්ගුවේරා බොලිවියාවේ අරගලයට ගියේ වීසා අරගෙන නොවෙයි. අපි මාධ්‍යවේදියො විදියට එය දැනගෙන තමයි ඔවුන්ව ඉන්ටවීව් කරන්නෙ. තොරතුරු දැනගැනීමේ අයිතියට මේ මොහොතේ කවරුත් එකඟයි. මේ වැඩසටහනින් මම උත්සහා කළේ මිනිසුන්ගෙ ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන එකයි. හැබැයි ඒකට යම් ආකාරයෙ සදාචාරමය නීතිමය බාධාවක්‌ කියා වැඩසටහන නැවැත්තුවා. ඒ ගැටලුව නිරාකරණය කිරීම මගේ පැත්තෙන් කළ යුතු එකක්‌ නෙමෙයි. මම වැඩේ කරල ඉවරයි. එහෙමනම් රටේ දේශපාලන ගැටලුවක්‌ තමයි තියෙන්නෙ. එය නිරාකරණය කර ගැනීමට රට පැත්තෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා අරගලයක්‌ කරන්න ඕන.

සන්ධාන ආණ්‌ඩුවේ මාධ්‍ය නිදහස සම්බන්ධව වත්මන් බලයේ සිටින පිරිස එදා දැඩි විවේචන සිදු කළා. දින සියයේ වැඩපිළිවෙළේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රමුඛ පොරොන්දුවක්‌. රට හැර ගොස්‌ සිටින මාධ්‍යවේදීන්ට නව ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේ දැන් ලියන්න කියන්න නිදහස තියනවා ඔබ නැවතත් රටට පැමිණ නිදහසේ වැඩ කරන්න කියායි. ඇත්තටම වත්මන් ආණ්‌ඩුව කියන මාධ්‍ය නිදහසද මේ?

මුලින්ම මා කිව යුතුයි එක දෙයක්‌. “මේ වැඩසටහන ඔබ කළා නම් මේ වැඩසටහන ප්‍රචාරය කරන්න කියල අගමැතිතුමා මට කිව්වා. ඒක මම දැන් කියන්නෙ අතිශය ගෞරවයෙන්. නැත්නම් මේ දින සියයෙ වැඩපිළිවෙළේ හොඳ කෑළි ටික හෙළ උරුමයයි. ශ්‍රී ලංකා එකයි, ඡේ.වී.පී. එකයි අහුලගෙන ඒකෙ තියෙන නරක අසූචි කෑල්ල අගමැතිටයි ජනාධිපතිටයි දානවනම් මම ඒකට විරුද්ධයි. මොකද ඒක හරි අසාධාරණයි. ඒ නිසා කව්රුන් හෝ කියනවානම් මේ වැඩසටහන නැවැත්තුවේ රජය මැදිහත් වීමෙන් කියල ඇත්තටම රාජ්‍ය මැදිහත්වීමකින් නොවෙයි. අග්‍රාමාත්‍යවරයා මට කියනවා ඔබ වැඩසටහන කළා නම් ඔබ වැඩසටහන කරන්න.

හෙමනම් වැඩසටහන නවතින්නෙ ඇයි?

නීතිමය ප්‍රශ්නය. නීතිමය ප්‍රශ්නයට උඩින් යන්න රටක අගමැතිවරයාටවත් ජනාධිපතිවරයාටවත් බෑ.

ආණ්‌ඩුවේ මැදිහත්වීමක්‌ නෑ කිව්වට රාත්‍රි නවයට නතර කරන්න තීරණය කළ වැඩසටහන ගැන ඒ වෙනකොටත් තොරතුරු අගමැතිවරයා දක්‌වාම සන්නිවේදනය වෙලත් තියෙනවා?

ඔව්. මොකද මෙතන නීතිමය ප්‍රශ්නයක්‌ තියෙනවනෙ. පහුවදා උදේ වෙනකොට මට මාධ්‍යවේදීයෙක්‌ ලෙස මතුවෙන ගැටලුව. මොකද ලාංකීය සමාජයට මේ වගේ ගවේෂණාත්මක දේවල් හුරු නෑනෙ.

මාධ්‍යවේදීන්ගෙ නිදහස පමණක්‌ නොවෙයි පසුගිය ආණ්‌ඩුව තහනම් කළ නිර්මාණවලට තහංචිය තවමත් එලෙසමයි. ඔබේ මිත්‍රයෙකුද වන නිලේන්ද්‍ර දේශප්‍රිය රිචඩ් ද සොයිසාගේ ජීවිතකතාව ඇසුරෙන් නිර්මාණය කරන චිත්‍රපටයේ රූගතකිරීම් පවා මේ ආණ්‌ඩුව යටතේත් තහංචියට ලක්‌වෙලා?

නෑ ඒ තොරතුරු වැරදියි. නිලේන්ද්‍රගේ චිත්‍රපටයට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් තහංචි පැනෙව්වේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ආරක්‍ෂක ලේකම් වෙලා ඉන්නකොට. බන්දුල ගුණවර්ධන කියන ඒ ආණ්‌ඩුවෙ හිටපු ඇමැතිවරයාට බැරිවුණා ගෝඨාභය මහත්තයාගෙන් මේකට අවසර ගන්න. ඒ නිසා තහංචිය පැනෙව්වෙ මේ ආණ්‌ඩුවෙන් නොවෙයි. තහංචිය පැනෙව්වෙ ගෝඨාභය රාජපක්‍ෂ. බන්දුලට බැරිවුණා ඒ ආණ්‌ඩුවත් එක්‌ක මේක බේරුමක්‌ කරගන්න. දැන් ඒ බැරිවුණ එකේ කුණ තමයි බන්දුල මේ ආණ්‌ඩුවට දාන්න හදන්නෙ. හැබැයි දැන් ඒ චිත්‍රපටය රූගත කරන්න අවසර දෙන්න අප ලෑස්‌තියි. ඒ සඳහා වැඩකටයුතු සකස්‌කරල ඉවරයි. හැබැයි ඒකට ටික කාලයක්‌ ගත වුණා. හැබැයි දැන් මේක රූගත කරන්න අවසර දෙනවා.

ඔබ ඔහොම ප්‍රකාශ කළාට රූගත කරන්න අවසර දුන්නෙ නැත්නම්?

දුන්නෙ නැත්නම් එදාට බන්දුල ගුණවර්ධනයි නිලේන්ද්‍ර එක්‌කයි ඒ පුවත්පත් සාකච්ඡාවේ වාඩි වෙන්නෙ මම. මොකද එදා සරචන්ද්‍රට යූ.ඇන්.පී. එකෙන් ගහනකොටත් අපි විරුද්ධයි. අනෝජාට ශ්‍රී ලංකා එකෙන් ගහනකොටත් අපි විරුද්ධයි. රූකාන්තට යූ.ඇන්.පී. එකෙන් ගැහුවාමත් අපි විරුද්ධයි. කුඹුක්‌ගැටේදී රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් කලාකාරයන්ට ගහනකොට ඒකට අපි විරුද්ධයි. ඒ වගේම මේ ආණ්‌ඩුවෙන් කලාකරුවෙකුට ගැහුවොත් හරි කලාකෘතියකට වාරණයක්‌ පැනෙව්වොත් හරි ඒකටත් අපි විරුද්ධයි.

විකාශය නොවූ සත්‍යාගාරය වැඩසටහනේදී ඔබ සම්මුඛ සාකච්ඡාවට ලක්‌ කළේ කුමාර ගුණරත්නම්?

ඔව්.

වැඩසටහන අත්හිටුවන්න හේතුවුණේ කුමාර් ගුණරත්නම් මේ ආණ්‌ඩුව අපහසුතාවට පත්කරන කිසියම් හෙළිදරව්වක්‌ කළ නිසාද?

නෑ. මම මේ වැඩසටහනේ එක වචනයක්‌ කැපුවෙ නෑ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ආයතනයේ සභාපතිවරයා හෝ මේ වැඩසටහනේ එක ප්‍රශ්නයක්‌ අයින් කරන්න කිව්ව දවසට මම ඒක නම් ගම් එක්‌ක කියනවා. ආයේ ඒකෙ කතන්දර නෑ. මෙතෙක්‌ මට මේ වැඩසටහනේ ඔයා මේක අහන්න මේක අහන්න එපා කියල කව්රුත් කියල නෑ. අහන ප්‍රශ්න මාලාව තියෙන්නෙ මා ළඟ. ඒක මාධ්‍යවේදියෙක්‌ විදියට මට තියෙන අයිතිය සහ ස්‌වාධීන රූපවාහිනියේ සභාපතිවරයා මාධ්‍යවේදියෙක්‌ විදියට මා ගැන තබා තිබෙන විශ්වාසය. මේ යහපාලන ආණ්‌ඩුවේ මාධ්‍ය නිදහස උපරිමයෙන් පාවිච්චි කළ වැඩසටහන සත්‍යාගාරය කියල මම විශ්වාස කරනවා.

වැඩසටහන පටිගත කිරීම සම්බන්ධව ඔබට රහස්‌ පොලිසියෙන් ප්‍රශ්න කළාද? මොකද ඔබ සඳහන් කළා මේ නිසා සී.අයි.ඩී. එකට මාව ගෙනියනවනම් ඒක ප්‍රශ්නයක්‌ කියල.

නෑ. මම කියන්නෙ මාව ගෙනියනවනම් ප්‍රශ්නයක්‌ කියන එක නොවෙයි. මාධ්‍යවේදියෙක්‌ ලෙස මට තියෙන අවසරය ජිනීවා සම්මුතියෙන් පිළිඅරගෙන තියෙන්නෙ. කුමාර ගුණරත්නම් හරි බින්ලාඩන් හරි ප්‍රභාකරන් හරි සම්මුඛ සාකච්ඡාවට ලක්‌කරන්න මාධ්‍යවේදියා විදියට මම ලෑස්‌තියි. එහෙම කළා කියල මාධ්‍යවේදියා ඒ අයගෙ මතය දරනවා කියල කොහෙවත් නෑ. හැබැයි මම විශ්වාස කරනවා ඡේ.වී.පී. එකේ අනුර කුමාරගෙ මතය දැනගන්න වගේම ඡේ.වී.පී. එකෙන් කැඩිල ගිය කුමාර ගුණරත්නම්ගෙ මතය දැනගන්නත් මිනිස්‌සුන්ට අයිතියක්‌ තියෙනවා කියල.

කුමාර ගුණරත්නම් සමඟ සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාවට මොකද වෙන්නෙ? එය ඔහොමම වැළලිලා යයිද?

සමාජ මාධ්‍ය මගින් කරන්න පුළුවන් අරගලය මහා මාධ්‍ය මගින් කරන අරගලයට වඩා වැඩියි. ස්‌වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය එක්‌කයි ලේක්‌හවුස්‌ පත්තර ටික එක්‌කයි මහින්ද රාජපක්‍ෂ රට ගන්න කරපු කැම්පේන් එකට වඩා ලොකුයි ෆේස්‌බුක්‌ එකෙ කොල්ලො කෙල්ලො කරපු කැම්පේන් එක. ලෝකෙ දැනට අන්තර්ජාලයෙ ඕනෑතරම් ඉඩකඩ තියෙනවා. මේකෙ තියෙන නීතිමය කාරණා නිරාකරණය වුණ ගමන් මම ඒ සාකච්ඡාව සමාජ වෙබ් අඩවිවලට මුදා හරිනවා.

සාකච්ඡා කළේ – තිස්‌ස ගුණතිල

දිවයින

Back to Top