Sri Lanka Brief
පුවත්විවරණවෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

by

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි නම් වෙනසක් සෙවීම අපගේ පරම යුතුකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියා තරම් අන් කිසිවෙකුත් වැදගත් නොවන බව අප කිසි දිනක අමතක කළ යුතු නැත.

ආණ්ඩුකරණය සඳහා ඇති බලය ජනතා ස්වෛරීත්වයේ කොටසකි. එහෙත් අපට මෙය නිතර අමතකවන අතර ආණ්ඩුකරණය යනු දේශපාලකයින් ප‍්‍රධාන නළුවන් වන නාට්‍යයක් සේ සලකා සැනසී සිටිමු. පුරවැසියන් වන අප අපගේ දේශපාලන ඉරණම සකස් කොට ගැනීමේ වගකීම දැරිය යුතු බව පිළිගැනීම වැදගත් වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තුළ, හැමවිටම ජීවගුණයෙන් යුතු විපක්ෂයක් පැවතීම අතිශය වැදගත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් තුළ සැබවින්ම නිමග්න වූ කවර හෝ පරිණත දේශපාලකයෙක් මෙහි වැදගත්කම පිළිගන්නේය. දීර්ඝ කාලයක සිට ශ‍්‍රී ලංකා දේශපාලනයේ පවත්නා බරපතලම ප‍්‍රශ්නය වන්නේ ජීවගුණයෙන් යුත් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයෙකු නොමැති වීමය.

දැන් ඒ තත්වය වෙනස් වී තිබේ. අප මේ අවස්ථාව උපයෝගී කොට ගනිමින් අපගේ අදහස් මහ හඬින් හා පැහැදිලිව ප‍්‍රකාශ කළ යුතුව තිබේ. දේශපාලන වෙනසක් සඳහා වූ න්‍යාය පත‍්‍රය සම්පාදනය කරන්නේ පුරවැසියන් වන අප බව සහතික කළ හැක්කේ ඒ ආකාරයෙනි.
පහත දැක්වෙන්නේ පුරවැසියකු ලෙස වෙනසක් සඳහා මා විසින් ඉල්ලා සිටිනු ලබන න්‍යාය පත‍්‍රයයි.

මා මෙය ඉදිරිපත් කරන්නේ කිසිදු අහංකාරයකින් තොරව හා ප‍්‍රජා වගකීම පිළිබඳව අවබෝධයකින් යුක්තවත් මගේ හෘදය සාක්ෂිය පරීක්ෂා කොට බැලීමෙන් හා මා ගරු කරන මගේ සහෝදර රටවැසියන්ගේ අදහස්වලට සවන් දීමෙන් පසුවත්ය.

ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයක්

ඔහු ශිෂ්ඨ සමපන්න නොවි නම් .....

ඔහු ශිෂ්ඨ සමපන්න නොවි නම් …..

– ප‍්‍රථමයෙන්ම හා ප‍්‍රධාන වශයෙන්ම, දේශපාලන නායකත්වයේ ශිෂ්ට සම්පන්න භාවයක් දැකීමට මම කැමැත්තෙමි. වීරත්වයන් හා පුද්ගලික නිර්භීතභාවය හෝ ශරීර ප‍්‍රමාණයට වඩා විශාල වූ පෞරුෂයක් නායකයෙකු තුළ නොතිබීම පිළිබඳව සමාව දීමට මට හැකිය. මට අවශ්‍ය වන්නේ දේශපාලන ශිෂ්ට සම්පන්න භාවයයි. එය නොමැතිව මා අපේක්ෂාකරන වෙනස ඇති විය නොහැකිය.

– ශිෂ්ට සම්පන්න නායකත්වයක් යන්නෙන් මා අදහස් කරන්නේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා නිදහස ද, සෑම පුද්ගලයෙකුගේ හා ජන කණ්ඩායමකට සමාන අභිමානයකින් හා බියකින් තොරව ජීවත් වීමට සැලැස්වීමේ ප‍්‍රතිපත්තිය මත අවංක ලෙස පිහිටා කටයුතු කරන නායකත්වයකි. ශිෂ්ට සම්පන්න නායකත්වයක් සමාජයක විවිධත්වය පිළිගත යුතුය. එය නීතියේ පාලනය මත පදනම් වූ ආණ්ඩුකරණයක් මත පදනම් විය යුතුය. කෙටියෙන් කිවහොත් මා අපේක්ෂා කරන්නේ පුරවැසිභාවයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සානුකම්පික නායකත්වයකි.

– වර්තමානයේ පවත්නා ඉතා අවස්ථාවාදී හා නරුමවාදී වූත් ඕනෑම නීති විරෝධී ක‍්‍රියාවක යෙදී තම වුවමනාවන් ඉටු කොට ගැනීමට අනුබල දෙන්නා වූත් ක‍්‍රමය සහමුලින්ම වෙනස් කළ යුතුව ඇත්තේය. මෙබඳු තත්වයක් ඇති කළ හැක්කේ වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද ශිෂ්ට සම්පන්න වූ නායකත්වයක් රටට ලැබෙන්න් නම් පමණි.

– ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය වැදගත් වුව ද ව්‍යවස්ථාවෙන් පමණක් දේශපාලන ශිෂ්ට සම්පන්නභාවය ඇති කළ නොහැකිය. ජනාධිපති මැන්ඩෙලා අශිෂ්ට පුද්ගලයෙකු වී නම් ඔහුට දකුණු අප‍්‍රිකාවේ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බහුජන හිතකාමී දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට හැකි නොවන්නේය.

– දේශපාලන භීෂණයක් පිටු දැකීම අපේක්ෂා කළ හැක්කේ ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයකින් පමණි. එය දේශපාලන මැර ක‍්‍රියාවන් හා අපරාධයට දඬුවම් නොකිරීම උත්කර්ෂයට පත් නොකරන්නේය. එය ජනතාව පීඩාවට පත් කරන පාතාල ලෝකයේ අපරාධකරුවන් සමග සුහද සම්බන්ධතා නොපවත්වන්නේය.

– දූෂණය ප‍්‍රතික්ෂේප කිරීම ද අපේක්ෂා කළ හැක්කේ එබඳු නායකත්වයකින් පමණි. පුහු ආටෝපය එබඳු නායකත්වයක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන අතර සරල ජීවන රටාවක් තෝරා ගනු ලබන්නේය. වගකීමකින් තොර ලෙස මහජන මුදල් වියදම් කිරීම එබඳු නායකත්වයක ලජ්ජාවට හේතු වන්නේය.

– එබඳු නායකත්වයකින් නිරන්තරව මහජනයාට වග වීමත් ආණ්ඩුකරණයේ දී විනිවිදභාවයකින් යුක්ත වීමත් මම අපේක්ෂා කරමි. සිය ඥාතීන් ද සමග දේශපාලකයින් අති විශාල ආරක්ෂක බලඇණි පිරිවර කොට ගෙන මහජනයාට හිරිහැර වන ආකාරයෙන් හැසිරීම ද එබඳු නායකත්වයකට ලජ්ජාවට හේතුවක් වනු නියතය.

– ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයක් නිර්ලජ්ජිත අනුග‍්‍රාහක දේශපාලනයක ද නොයෙදෙනු ඇත. රටේ සියලූ ජනයා ”අපේ අය” විය යුතුය. සියලූ ජනයා සමාන ලෙස සලකනු ලැබිය යුතුය.

– මම භීෂණ දේශපාලනය පිළිකුල් කරමි. එය නවත්වා දැමිය යුතුය. නොයෙක් සතුරන් මවමින් හා කුමන්ත‍්‍රණ කතා පතුරුවමින් ජනතාව බිය වැද්දීමට තැත් කිරිම දුර්වලභාවයේ ලක්ෂණයකි. එයින් පෙනෙන්නේ පාලකයා අනාරක්ෂිත බවය. ශිෂ්ට දේශපාලනය ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුය. ඔවුන්ගේ බුද්ධියට ගරු කළ යුතුය. යුද්ධය අවසන් වීම පිළිබඳව අපි සතුටු වූයෙමු. ජනාධිපතිවරයාට නිසි කෘතඥතාව පළ කළෙමු. එසේ කළේ මින් ඉදිරියට බියෙන් තොරව ජීවත් විය හැකි වේය යන විශ්වාසයෙනි.

එහෙත් දැන් අපට නිතර දැන ගැනීමට සලස්වා ඇත්තේ තවම යුද්ධය අවසන් වී නැති බවක්ය. මගේ අදහසේ හැටියට සතුරා සිටින්නේ රජය තුළමය. ඒ සතුරා නම් අයහපත් පාලනයයි. ජනතාව සටන් කළ යුත්තේ මේ සතුරාට එරෙහිවය.

ව්‍යවස්ථා සංශෝධනය

– විධායක ජනාධිපති ක‍්‍රමය විසින් රටේ ආණ්ඩුකරණයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරය විනාශ කර දමනු ලැබ ඇති බැවින් එය අහෝසි කර දැමිය යුතුය. දහ අට වන සංශෝධනය ද එසේම පිටු දැකිය යුතුය. වහාම අවශ්‍යව ඇති සංශෝධන මේවාය. එසේ වුව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංහෝධනය එතැනින් නැවැත්විය යුතු නැත.

– එය සකස් කිරීමේ දී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගනිමින් සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අවශ්‍යය යන්න මගේ අදහසයි.

– ව්‍යවස්ථා සංශෝධනය මගින් ශක්තිසම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියකින් හා ක‍්‍රියාවලියකින් මෙහෙයවනු ලබන ආණ්ඩුකරණයක් සහතික කරනු ලැබිය යුතු අතර එම ක‍්‍රියාදාමයන් පුද්ගලයන්ගේ වුවමනාවන්ට යටත් නොවිය යුතුය. බලවත් පුද්ගලයන්ගේ ආගමනයන් හා නික්ම යාම් සිදු වුව ද ආයතන හා පද්ධතීන් කිසිදු බාධාවකින් තොරව දිගටම පැවතිය යුතුය.

– පාර්ලිමේන්තුවට වග කියන විධායකයක්, නියෝජනයක් සහිත (පක්ෂ මාරු කරන්නවුන්ට ආසන අහිමි වන) හා කාර්යක්ෂම පාර්ලිමේන්තුවක් සහ ශක්ති සම්පන්න වූ ස්වාධීන අධිකරණයක් දැකීම මාගේ අපේක්ෂාවයි. ශක්ති සම්පන්න අධීක්ෂණයන් හා තුලනයන් ද තිබිය යුතුය.

– අධිකරණයේ සහ වැදගත් මෙහෙයුම් ආයතන වන අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම, අල්ලස් හා දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම හා ගණකාධිපති කාර්යලය හා ඇටර්නි ජෙනරල් කාර්යාලය වැනි වැදගත් කාර්යාලවලද ස්වාධීනත්වය සහතික තරන ව්‍යවස්ථාමය යාන්ත‍්‍රණයක් ද ස්ථාපිත කළ යුතුය. දහහත් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කළ ආකාරයටත් වඩා ශක්ති සම්පන්න ව්‍යවස්ථා මණ්ඩලයක් ඉතා අවශ්‍යය. දේශපාලන බලපෑම්වලින් තොර වූ පත් කිරිමේ ක‍්‍රියාදාමයක් මගින් මෙම ආයතනයන්ට වඩාත්ම සුදුසු පුද්ගලයන් පත් කොට ගැනීම සහතික කිරීම ද තීරණාත්මක ලෙස වැදගත් කාර්යයකි. මෙසේ පත් කරනු ලබන්නන්ගේ ධුර කාලය පිළිබඳ සහතිකයක් තිබිය යුතුය.

– නව ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවට ශක්තිමත් අයිතිවාසිකම් පණතක් අවශ්‍යයයි සිතමි. එය පුද්ගල අයිතීන් මෙන්ම කණ්ඩායම් අයිතීන් යන අංශ දෙකම පිළිගන්නා එකක් විය යුතු අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතීන් ද ප‍්‍රජා හා දේශපාලන අයිතීන් ද එහි විෂය පථයට අයත් විය යුතුය.

– ශ‍්‍රි ලාංකික සමාජයේ විවිධ අංශයන්ගෙන් පවත්නා බහුවිධතාවය පිලිබඳව ව්‍යවස්ථානුකූල පිළි ගැනීමක් තිබිය යුතුය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවස්ථාව මෙරට ජාතීන් අතර සංහිඳියාවක් තහවුරු කොට ගැනිම සඳහා උපකාරී වන පුළුල් සාකච්ඡුාවක් සඳහා ඉතා යෝග්‍ය අවස්ථාවක් සලසන්නේය.

– අවසාන වහයෙන් ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ සහතික කිරීමක් ද සිදු විය යුතුය. එයින් අදහස් වන්නේ ඒවා පාර්ලිමේන්තුව මගින් සංශෝධනය කළ නොහැකි විය යුතු බවයි. මුලික ලක්ෂණ කවරේද යන්න තීරණය කළ යුතු වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ දෘෂ්ටිකෝණයෙන්ය.

ව්‍යවස්ථා ප‍්‍රාරම්භකත්වයක් ලෙස තොරතුර දැනගැනීමේ අයිතිය පිළිබඳ පණතට ප‍්‍රමුඛතාවයක් දිය යුතුයයි සිතමි. එහෙත් මානව සංවර්ධනය – මා මෙහි දී අදහස් කරන සංවර්ධනය මානව සංවර්ධනයයි. ඒ අනුව රටක ආර්ථික ක‍්‍රියාකාරකම සාමාන්‍ය පුරවැසියාගේ යහපත සඳහා ඔවුන්ට ප‍්‍රමාණවත් වැටුපක් ලබා ගැනීම, හොඳ ආහාර වේලක් ලබා ගැනීම, දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීම, සෞඛ්‍ය පහසුකම් හා විනෝදාස්වාදය ආදිය සඳහා අතමිට මුදල් තිබිය හැකි තත්වයක් ඇති කිරිම සහතික කළ යුතු වේ. නිතරම ණය වීම වෙනුවට ඔවුනට ඉතිරිකි්රීම් තිබිය යුතුය.

– යටිතල පහසුකම් සංවර්ධනය ද වැදගත්ය. එහෙත් එයින් පමණක් මානව සංවර්ධනය සිදු නොවේ. අලංකාර නගරයක ජීවත් වීමට ලැබීම යහපත්ය. එහෙත් අලංකාර උද්‍යාන හා පොකුණු, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, සුප‍්‍රකට වෙළඳ නාම සහිත ඇදුම් ආයිත්තම් වෙළඳ සැල් හා අලංකාර හෝටල්වලින් පමණක් මානව සංවර්ධනය පිලිබිඹු වේ ද? මෙවැනි ක‍්‍රමයක් ප‍්‍රශ්නකාරී තත්වයකනට පත් වන්නේ මෙම සමහර ව්‍යාපෘතීන් මහජන යහපත නොතකා සමහර පුද්ගලයන්ගේ හිතුවක්කාරි නිගමන මත සිදු කොට තිබිම නිසාය. මෙහි වඩාත්ම භයානක පැත්ත වන්නේ මේ සියල්ල සිදු කොට ඇත්තේ රටේ ඉදිරි පරම්පරා ගණනක් ණය කරුවන් කරමින් ලබා ගත් ණයවලින් වීමය. මෙවැනි හිතුවක්කාරී කටයුතු ස්ථිර වශයෙන්ම වහා නැවැත්විය යුතුය.

– මා දැකීමට කැමති තත්වය වන්නේ අර්ථවත් කර්මාන්තයන්හි, වතු වගා අංශයේ හා කෘෂිකරමාන්තයේ ආයෝජනයන්ය. තොරතුරු තාක්ෂණය ලංකාවේ ඉතා දියුණු තත්වයකට පත් වේයයි කලකට ඉහත දී අපි බලාපොරොත්තු තබා ගෙන සිටියෙමු. එහෙත් එය එසේ සිදු වී නැත. අපට ඉතා දියුණු තත්වයේ මානව සම්පත් තිබේ. එම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබා ගෙන නොමැත්තේ ඇයි? අපට හෙද-හෙදියන්, ඉංග‍්‍රීසි ගුරුවරුන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් පුහුණු කොට තොග ගණනින් පිටරට රැුකියාවන්ට යැවිය නොහැක්කේ මන්ද?

– ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයක් සමාජය තුළ විශාල ආර්ථික අසමාන තා දැකීමට කැමති නොවන අතර සමාජ සාධාරණය උදෙසා කැප විය යුතු වන්නේය. එය නාස්තිය හා දූෂණය වැලැක්වීමට කටයුතු යෙදිය යුතු වන්නේය. එය ඉතාමත්ම දුප්පත් පුද්ගලයා පවා පීඩනයට පත් නොකරන සාධාරණ බදු ක‍්‍රමයක් සම්පාදනය කළ යුතු වන්නේය.

– ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයක් ආර්ථික අවස්ථා තම හිතවතුනට පමණක් ලබා දීමට කටයුතු නොකරන්නේය. දක්ෂතාවයට තැන දෙන, තරගකාරීත්වයට අවකාශ සලසන සාධාරණ ක‍්‍රමයක් ඇති කරන ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. ගැත්තන්ට පමණක් අවස්ථා සලසන ක‍්‍රමයකින් තරුණ පරම්පරාව කලකිරීමට පත්ව සිටී. මේ ”ගැති දේශපාලනය” ඔවුහු පිළිකුල් කරති.

– එමෙන්ම ශිෂ්ට සම්පන්න දේශපාලන නායකත්වයක් ජාතික අයවැයෙන් විශාල ප‍්‍රමාණයක් අධ්‍යාපනය, සෞඛ්‍යය, මහජන ප‍්‍රවාහනය හා නිවාස තැනීම සඳහාත් සමාන්‍ය ජනයාගේ ජීවන තත්වය නැංවීමට උපයෝගී වන අංශයන් සඳහාත් වෙන් කළ යුතුය. ඉහත සඳහන් වන්නේ වෙනසක් සඳහා පුරවැසියෙකු ඉදිරිපත් කරන ඉල්ලීම් මාලාවකි. මගේ අදහස අනුව අපට මෙම මූලික අයිතීන් ලැබෙන්නේනම් අප අපේක්ෂා කරන වෙනස බිහි කොට ගැනීම සඳහා විශාල අවකාශයක් හා අවස්ථාවන් නිර්මාණය වනු ඇත. කිසිවකු මා බොලඳයයි කීමට ඉඩ තිබේ. මම ඒ පිළිබඳව අපනාප නොවෙමි.

එහෙත් අප මෙරට පුරවැසියන් ලෙස කතා නොකොට සිටින්නේ නම් සහ අපට වුවමනා වෙනස ඉල්ලා නොසිටින්නේ නම් අපට සදාකාලිකව නිහඬව සිටීමට සිදු වනු ඇත.

ඉරිදා පුවත් පතින් උපුටා ගන්නා ලදි සම්පූර්ණ පුවත් පත මෙම දිගුවෙන් කියවිය හැකිය : IDIIRIYA 4_ 281214

Back to Top