Sri Lanka Brief
පුවත්විවරණමේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ!

මේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ!

by

මහාචාර්ය විජය කුමාර් විසිනි-
ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ 79 වැනි සංවත්සරය යෙදෙන්නේ දෙසැම්බර් 18 වැනි දාටයි. එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ බර්නාඞ් සොයිසා වැන්නන්ගේ ලංකා සමසමාජ පක්ෂය අධිරාජ්‍ය-විරෝධී අරගලය තුළ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවා පමණක් නොව, අද කම්කරු පංතියත් ලංකාවේ පොදු ජනතාවත් භුක්ති විඳින බොහෝ ප‍්‍රතිලාභ සාධනය කර දීම සම්බන්ධයෙන් ද ප‍්‍රමුඛත්වයක් ගත්තේය. ඒවායින් බොහොමයක් අද වන විට දියාරු කොට තිබේ. එදා සිට බලයට පත්වූ බොහෝ ආණ්ඩු, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත, සාමාන්‍ය ජනතාව වෙත කාන්දු නොවන ආර්ථික එල්ලයන් පසුපස ගොස් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම අයාලේ යවා තිබේ. වැඩ වර්ජනය කිරීමට සහ විරෝධය පෑමට ඇති අයිතිය මහජනයාට කරදරයක් වන්නේය යන කුතර්කය මත පිහිටා, පොලීසිය සහ අධිකරණය හරහා බොහෝ විට අද ඒවා මර්දනය කෙරේ. එදා අප භුක්ති වින්ද නිදහස් අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන් නොකිරීමෙන් අධ්‍යාපනයේ වර්ධනය සහ ග‍්‍රාමීය දිළිඳු දරුවන්ගේ අනාගත අපේක්ෂා ව්‍යර්ථ කෙරී ඇති අතර, ඒ වෙනුවට, ‘‘ජාත්‍යන්තර පාසල්’’ ද, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් ගොඩනැගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ද ඉදිරියට විත් තිබේ. එසේම, නිදහස් සෞඛ්‍ය සේවාවත් ක‍්‍රම ක‍්‍රමයෙන් පෞද්ගලීකරණයට යටත් කෙරෙමින් තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති කෙරෙහි දැක්වූ බැඳීමත්, සමාජයීය වශයෙන් වැදගත් අරගලවලට උරදීමත්, කම්කරු පංති-විරෝධී සහ ජනතා-විරෝධී ප‍්‍රතිපත්තිවලට එරෙහිව නැගී සිටීමත්, විශේෂයෙන් එම පක්ෂයේ නායකයන් සතු වූ අදූෂිත සහ සුපිළිපන් චරිත ස්වභාවයත් නිසා වැඩ කරන ජනතාවගේ විශ්වාසයත්, පොදු ජනතාවගේ ගෞරවයත් එදා එම පක්ෂයට හිමි විය. එම පක්ෂය එදා ගත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් හේතු කොටගෙන, මේ රටේ වෙසෙන බුද්ධිමය ප‍්‍රජාවත්, උගත් තරුණ පරම්පරාවත් එම පක්ෂය සමග එදා අනන්‍ය වූහ.

විධායක ජනාධිපති ක‍්‍රමය තුළ පවතින අත්තනෝමතික ස්වරූපය ගැන මුලින්ම රටේ අවධානය යොමු කෙළේ එන්. එම්. පෙරේරා ය. 1978 ව්‍යවස්ථාව මගින් ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රීය භාවයට එල්ල කෙරෙන අවදානම ඔහු පෙන්වා දුන්නේය. එනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන සහ පාර්ලිමේන්තුවට යළි බලය පවරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම එකම ගැලවුම වන බව ඔහු එදා කීය. දැන් මුළු රටම එම අදහස පිළිගනී.

එසේ වෙතත්, සෑම ප‍්‍රතිපත්තිමය කාරණයකදීම කෙලින් සිට ගත් ඒ අතීත පක්ෂයේ වර්තමාන නායකත්වය හොබවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙන්නා පක්ෂයේ තීරණයටත් පටහැනිව යමින්, 2010 සැප්තැම්බර් මාසයේදී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය පාවිච්චි කරමින් වැරදි මාවතකට පිලිපන්හ. මේ සංශෝධනයට පක්ෂව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ඡුන්දය පාවිච්චි කළ ද, තමන්ගේ එම තීරණය වැරදි බව පසුව පිළිගත් එම පක්ෂය ඒ වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටියේය. ලංකා සමසමාජ පක්ෂය අද වන තෙක් එවැන්නක් කෙළේ නැත. 2012 දෙසැම්බර් මාසයේදී නැවතත් පක්ෂ තීරණයට එරෙහිව යමින්, එම මන්ත‍්‍රීවරුන් දෙන්නාගෙන් එක් කෙනෙක් අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාවටත් පක්ෂව ඡුන්දය පාවිච්චි කෙළේය.

සමස සමාජ නායකයිනට අද ඇන්.ඇම්. මුද්දරයක් පමණි

සමස සමාජ නායකයිනට අද ඇන්.ඇම්. මුද්දරයක් පමණි

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අවනත වනු වස් මෙසේ නිර්ලජ්ජී ආකාරයෙන් පක්ෂ විනය මේ මන්ත‍්‍රීවරුන් විසින් කඩකරන ලද්දේ වී නමුත් පෙරලා ඒ වෙනුවෙන් පක්ෂයට අත්වූ සුගතියක් ද නැත. ‘‘ජාතික ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා වන පුළුල් එළැඹුමක්’’ සහිත, ‘‘දේශයට උචිත නව ව්‍යවස්ථාවක්’’ සම්පාදනය කර ගැනීම සඳහා වූ ‘සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ’ නායකත්වය දැරුවේ සමසමාජ පක්ෂයේ වර්තමාන ලේකම් තිස්ස විතාරණයි. මේ ‘සර්ව පාක්ෂික නියෝජිත සමුළුව’ 2006 සිට 2009 දක්වා රැුස්වුණි. තිස්ස විතාරණගේත්, එම සමුළුවේ සෙසු සාමාජිකයන්ගේත් අධිෂ්ඨානය සහ කැපවීම හරහා, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විය හැකි අවසාන වාර්තාවක් පිළියෙල කෙරුණි. 2009 අගෝස්තු මාසයේදී එම වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නද, ඒ ගැන මේ දක්වා කිසි පියවරක් නොගෙන ඇතිවා පමණක් නොව, එවැනි වාර්තාවක් තමන්ට අතට පත්විණි ද යන කුකුසක් පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතැම් ප‍්‍රකාශ හරහා මතු කොට ඇත. ඊට පෙර 2008 ජනවාරි මාසයේදී, ව්‍යවස්ථාමය සංශෝධනවලින් තොරව ක‍්‍රියාත්මක කළ හැකි අන්තර්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන්නැ යි ‘සර්ව පාක්ෂික නියෝජිත සමුළුවෙන්’ ඉල්ලා සිටින ලදුව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැකි තාක් දුරට ක‍්‍රියාත්මක කරන්නැ යි ඉල්ලා එම සමුළුව අන්තර්කාලීන යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එහිදී ජනාධිපතිවරයා කෙළේ මේ අන්තර්කාලීන වාර්තාවට ඉහළම ප‍්‍රචාරය ගෙන දෙමින්, තමන් විසින් ඇතැම් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව අන්තර්ජාතිකයට ඒත්තුගැන්වීමට බැලීම පමණි.

කෙසේ වෙතත්, අවසාන වාර්තාවක් සකස් කිරීම සඳහා ‘සර්ව පාක්ෂික නියෝජිත සමුළුව’ සහ තිස්ස විතාරණ ගත් ප‍්‍රයත්නයන් ගඟට කැපූ ඉණි හා සමාන විය. මන්ද යත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පැරදවීමෙන් පසු තවදුරටත් ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය නැතැ යි ආණ්ඩුව සිතන්නට වීම නිසා ය. ‘සර්ව පාක්ෂික සමුළුවේ’ නිර්දේශ නොතකා හැරියා පමණක් නොව, ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා සේ, ගිය වසරේ එවැනිම පරමාර්ථයක් වෙනුවෙන් යැයි කියා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තිස්ස විතාරණව සාමාජිකයෙකු වශයෙන් පත් නොකිරීමටත් ආණ්ඩුව වගබලාගත්තේය.

එපමණක්ද නොවේ. 2010 නොවැම්බර් මාසයේදී එවකට විද්‍යා හා තාක්ෂණ කටයුතු ඇමතිවරයා වශයෙන් සිටි තිස්ස විතාරණව, අනතුරුව විද්‍යා කටයුතු පිළිබඳ බල රහිත ‘ජ්‍යෙෂ්ඨ ඇමති ධුරයකට’ පහත හෙලූවේය. එදා පත්කරන ලද ‘ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්’ 10 දෙනාගෙන් කිසිවෙකුට දෙපාර්තමේන්තුවක්වත්, ආයතනයක්වත් භාර නොකෙරුණි. කොල්ලූපිටියේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක කාර්යාල කාමර අටවාගෙන, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සේවය බෙදාහදා ගැනීමට ඔවුන්ට සිදුවිය. මේ අවමානය ලංකා සමසමාජ පක්ෂය විරෝධයකින් තොරව විඳගත්තේය. මේ තත්වය 1975 දී සභාග ආණ්ඩුවේ සිටි ලංකා සමසමාජ පක්ෂය ගත් ස්ථාවරයත් සමග සසඳා බලන්න. එදා එම ආණ්ඩුවේ සිටි ලංකා සමසමාජ පක්ෂ ඇමතිවරුන් තිදෙනාගෙන් කෙනෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාට ඔහුගේ ප‍්‍රතිපත්ති නිසා රටේ ධනපති පංතියට රිදෙමින් ඇති තත්වය තුළ මුදල් අමාත්‍යාංශය අතහැර වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය භාරගන්නැ යි අගමැති සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඉල්ලා සිටි අවස්ථාවේ. ඊට බලවත් විරෝධය පාමින් පක්ෂයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් එළියට ආවේය.

මේ අවුරුද්ද මුල් භාගයේදී, විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ එන්. එම්. පෙරේරාගේ ස්ථාවරය යළි පණගන්වමින් යෝජනාවක් සම්මත කර ගත් ලංකා සමසමාජ පක්ෂය, තවත් ජනාධිපතිවරණ නොපැවැත්විය යුතු බව කියා සිටිමින්, පාර්ලිමේන්තු පාලන ක‍්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. 2014 මැයි දවසේ, පක්ෂයේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ එයයි. එතැන් සිට එක දිගටම පක්ෂයේ ස්ථාවරය වුණේ ද එයයි. කෙසේ වෙතත්, මේ වසරේ ඔක්තෝබර් මාසයේදී, පක්ෂයේ අනාගත ප‍්‍රතිපත්ති පිළිබඳ ලේඛන තුනක් ගැන සාකච්ඡුා කිරීම සඳහා රැස්වූ මධ්‍යම කාරක සභාවට, ඒ වන විට පූර්ව දැනුම් දීමක් කොට නොතිබුණු තවත් යෝජනාවක් රාත‍්‍රියේදී ඉදිරිපත් කෙරුණි. සභාපතිවරයා විසින් හදිසියේ කියවන ලද මේ යෝජනාව වුණේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්විය යුතු බවයි. ඒ වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැනවත්, ඊට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා ගැන කිසිදු නිල ප‍්‍රකාශයක්වත් ප‍්‍රසිද්ධියට පත්කොට නොතිබුණ ද, තවත් ජනාධිපතිවරණයක් පවා නොපැවැත්විය යුතු බවට ඊට කලින් පක්ෂය විසින් ගෙන තිබූ තීන්දුවටත් පටහැනිව යමින්, මේ කියන අප‍්‍රකාශිත ජනාධිපතිවරණයේ අප‍්‍රකාශිත අපේක්ෂකයාට සහාය පළකිරීමේ ඉහත කී යෝජනාව කඩිමුඩියේ සම්මත කරගන්නා ලදි. මේ කරුණු අනුසාරයෙන් කෙනෙකුට පැමිණිය හැකි එකම නිගමනය වන්නේ, ඒ වන විට ආණ්ඩුවෙන් ඉවත් වීමේ තර්ජනය පසුබිමේ ජාතික හෙළ උරුමය විසින් සම්මත කරගෙන තිබූ යෝජනාවන් මගින් ආණ්ඩුවට සිදුවිය හැකි නරක බලපෑම සමනය කර ගැනීම සඳහා, ලංකා සමසමාජ පක්ෂයට පිටස්තර යම් පිරිස් විසින් පක්ෂය පාවිච්චි කිරීමේ ප‍්‍රයත්නයක් දියත්ව තිබුණු බවයි.

අද ලංකා සමසමාජ පක්ෂය, තවදුරටත් එන්.එම්. පෙරේරාගේ හෝ කොල්වින් ආර්. ද සිල්වාගේ හෝ බර්නාඞ් සොයිසාගේ හෝ සමසමාජ පක්ෂය නොවේ.

ඒ වෙනුවට, 2010 සිට අපට ලැබී ඇත්තේ, ජනාධිපතිවරයාගේ අභිලාෂයන් සතපවන පරිද්දෙන් ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනෙන, ස්වාධීන මතිමතාන්තරවලින් තොර සමසමාජ පක්ෂයකි. මේ අවස්ථාවේ ජනාධිපතිවරයාව අභියෝගයට ලක්කිරීම වනාහී ශ‍්‍රී ලංකාව නැවතත් යටත් විජිතයක් කිරීමේ අධිරාජ්‍යවාදී බලවේගවල කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවාදැක්වීම සඳහා විමල් වීරවංශ සහ ඔහුගේ ගැත්තෙකු වන මුසාම්මිල් වැන්නන් සමග ඒකාබද්ධ සම්මුඛ සාකච්ඡුා පැවැත්වීම මේ පක්ෂයට ඔක්කාරයක් ගෙන දෙන ප‍්‍රශ්නයක් වී නැත. පක්ෂයේ අතීත නායකයන් ඇපකැප වූ ප‍්‍රතිපත්තිවලින් අද පවතින සමසමාජ පක්ෂය මොන තරම් ඈත් වී ඇත්ද යන්න මනාව පෙන්නුම් කරන එක සාක්ෂියක් වන්නේ, එහි වර්තමාන නායක තිස්ස විතාරණ පවතින තත්වය යුක්ති සහගත කරමින්, එම පාලනයේ අන්ත ¥ෂණය පවා, සංවර්ධනය වන ඕනෑම රටක ස්වාභාවික ලක්ෂණයක් වශයෙන් අනුමත කිරීමට තරම් පහත් අඩියකට වැටීමෙනි.

එදා පක්ෂ නායකයන් ගර්හාවෙන් ප‍්‍රතික්ෂේප කළ ප‍්‍රතිපත්ති අද මේ පක්ෂය විසින් වගා කොට පෝෂණය කරනු ලැබීම තුළ, විශේෂයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් එන්. එම්. පෙරේරා දැරූ ප‍්‍රතිපත්තිය වර්තමාන පක්ෂ නායකත්වය විසින් පාවා දුන් තත්වය තුළ, පක්ෂයේ 79 වසරක සංවත්සරයක් පැවැත්වීමේ අයිතියක් වර්තමාන සමසමාජ පක්ෂයට ඇතැ යි මම කොහෙත්ම නොසිතමි. වඩාත් සුදුසු වන්නේ, නව මාදිලියේ මේ පක්ෂයේ 4 වැනි සංවත්සරය සැප්තැම්බර් 8 වැනි දාට පැවැත්වීමයි. එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙන්නා 18 වැනි සංශෝධනයට පක්ෂව අත එසැවූයේ එවන් දවසක ය. ජනාධිපතිවරයාගේ අණවිනවලට අනුකූලව තමන් කවදත් අනුගත විය යුතු යැයි ඔවුන් තීන්දු කෙළේ එදා ය. එබැවින්, අළුත් පක්ෂයේ 4 වැනි සංවත්සරය සැප්තැම්බර් 4 වැනි දාට සැමරීම එම පක්ෂයට වඩාත් යෝග්‍ය ය.

මහාචාර්ය විජය කුමාර් විසින් ලියන ලද   LSSP- 79th Anniversary or 4th Anniversary? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top