Sri Lanka Brief
පුවත්විවරණපොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

by

(මාදුළුවාවේ සෝභිත හිමි විසින් දැරිය යුතුව තිබූ නායකත්ව භූමිකාව අද නැත)

සුනන්ද දේශප්‍රිය
ආරම්භයෙහි දී පොදු විපක්ෂයේ කේන්ද්‍රීය ලක්ෂය වශයෙන් පැවැතුනේ මාදුළුවාවේ සෝභිත, ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැළිඅමුණ, නිර්මාල් රංජිත් යනාදීන් විසින් සංකේතවත් කරනු ලැබූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යි. බැහැරට පෙනෙන අන්දමට දැන් එම ව්‍යාපාරයේ කේන්ද්‍රීය වැදගත්කම නැතිව ගොස් සාමන්‍ය සහායකයකුගේ තත්වයට පත්ව තිබේ.

මාදුළුවාවේ සෝභිත හිමි විසින් දැරිය යුතුව තිබූ නායකත්ව භූමිකාව දේශපාලන රළවේග විසින් යටපත් කර තිබීම කණගාටුදායක මෙන්ම පොදු විපක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන් දුර්වල කරන වර්ධනයක් විය හැකි ය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිමේ සටන් පාඨය වටා පොදු දේශපාලන එකඟතාවයක් ගොඩ නැගීමට එහිමියන් ප්‍රම්‍රඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැරෑ දිර්ඝ කාලින ප්‍රයත්නය නොවන්නට අද අප අත් දකින රාජපක්ෂ විරෝධි රළ වේගය ඉස්මතු නොවන්නට ඉඩ තිබුණි. පොදු විපක්ෂයෙහි නායකත්ව අරටුවෙහි සිටින දේශපාලන පක්ෂයකට නැති එකම සිවිල් වරිතය වන්නේ මාදුළුවාවේ හිමි ය. පොදු විපක්ෂයෙහි සක්‍රීය කොටස්කරුවන් බවට පත්ව සිටින සිවිල් සමාජ බලවේගයන්හි සංකේතාත්මක නායකත්වයට එහිමියන් තරම් ප්‍රබල චරිතයක් සිටියේ නැත.

එසේ නමුත් රාජපක්ෂ විරෝධී සිවිල් සමාජ බලවේග ස්වකීයම වූ ප්‍රබල මතවාදී වේදිකාවක් තනා ගනු වෙනුවට විපක්ෂ දේශපාලන පක්ෂයන් සමඟ විවිධ මට්ටමින් එක්ව ඒවා සෙවෙනෙහි වැඩ කිරීමේ මාර්ගය තෝරා ගත්තේ ය. බොහෝ දුරට ම මෙම තෝරා ගැනීම දරුණු මර්ධනයක් විසින් බියගන්වන ලද සමාජයක සිදු විය හැකි අත්‍යවශ්‍ය පියවරක් විය හැකි ය.

පොදු විපක්ෂ ව්‍යාපාරය තුල ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජ කන්ඩායම් විසින් මූලෝපායික දැක්මක් ඇති කර ගැනිමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ 1994 (චන්ද්‍රිකා පාලනය) සහ 2002 (රනිල් පාලනය) අත්දැකිම් විසින් ද ඉරානයේ ඒකාධිපති ෂා පාලනය පෙරළා දැමිමේ සිට නුතන අරාබි වසන්තයේ අත්දැකීම් විසින් ද අපට පෙන්වා දෙයි.
පොදු ව්‍යාපාරයක් ගොඩ නැගෙන්නේ පොදු සතුරකුට එරෙහිව ය. එනමුත් පොදු සතුරාගේ පරාජයෙන් පසු පොදු විපක්ෂ ව්‍යාපාරයන්හි කොටස්කාර බලවේග ස්වකීය දේශපාලන අරමුණු පිණිස දෙවන අරගලයක් අරම්භ කරති. එහි වරදක් නැත.

මෙම සියළු අත්දැකීම් විසින් අපට උගන්වන වැදගත් පාඩම් දෙකක් තිබේ.

පළමුවැන්න නම් මර්ධනකාරී පාලනයකට හසුව සිටින සමාජයක වෙනසක් සඳහා සමාජ සාමය සහ සමාජ සාධාරණත්වයේ නාමයෙන් පැන නගින දේශපාලන ප්‍රවණතාවය අතහැර හුදකලාවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී හෝ විප්ලවීය හෝ බලවේගයන්ට තමන්ගේම ගමනක් නිර්මාණය කර ගත නොහැකි බවයි.

ඊට හොදම උදාහරණයක් නම් පිලිපීනයේ මාකෝස් විරෝධී අකිනෝගේ ව්‍යපාරයෙන් ඉවත්ව සිටි රට එරට ඉතා ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සහ විප්ලවිය බලවේගයක් වූ පිලිපීන කොමියුනිස්ට් පක්ෂය නැත්තටම වාගේ නැති වී යාමයි.

දෙවැනි පාඩම නම් සමාජ වෙනසක් සඳහා පැන නගින පුළුල් ප්‍රජාත්‍රනත්‍රවාදි හවුලක් තුල සක්‍රීය වන අතරම එහි දිය වී නොයා සිය බලපැමේ හැකියාව වර්ධනය කර ගැනීම පිණිස සිවිල් සමාජ බලවේග එක්සත් සහ ප්‍රායෝගික මුලෝපායක් නිර්මානය කර ගැනීමේ වැදගත් කමයි.

ඊට ඇති උදාහරණයක් නම් 1993 දී සියළු විපක්ෂ නායකයින් සිය අනුගාමික අසන්නන් බවට පත් කරමින් සිරිමාවෝ බන්ඩාරනායක ලවා ලේක් හවුසිය රජසතු කිරීම වරදක් බවට ප්‍රකාශයක් ලබා ගැනිමට පවා සමත් වුද, 1994 ජනාධිපතිවරණයේ දී ස්වාධීන වේදිකාවක සිට දස දහසේ සිට විසි දහස දක්වා ජනයාට ඇමැතීමට තරම් බලවත් වු ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ සිවිල් සමාජ බලවේගයන් ය. 94 ජයග්‍රහණයෙන් පසු එම ව්‍යපාරයේ ප්‍රමුඛයින් ගණනාවක් ම රජයේ තනතුරු සදහා ප්‍රතිපත්ති බිලිදුන් අතර ව්‍යාපාරය යළි විපාක්ෂික කණ්ඩායමක් බවට පත් වුණි. එදා සිවිල් සමාජය වෙත මූලෝපායික දැක්මක් තිබුනේ නැත.

ජනවාරි අට වැනිදායින් පසු එ‍ලඹෙන සමයෙහි අප අපේක්ෂා කරන මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යෝජිත ජාතික ආන්ඩුවෙහි ඉහළම ප්‍රමුඛතාවයක් බවට පත් කළ හැක්කේ ඉහත කී පාඩම් ඉගෙන ගනිමින් රාජ්‍ය බලයේ තුලන සහ සංවරනයන් ලෙස සිවිල් සමාජ බලවේග ශක්තිමත් කිරීමට අප සමත් වන්නේ නම් පමණි.
අප වඩා විශ්වාශය තැබිය යුත්තෙ‍් පුද්ගලයින් මත නොව යාන්ත්‍රණයන් මත ය.

මෛත්‍රී පාලනය යනුවෙන් නම් කැරෙන විපක්ෂ ආණ්ඩුවක සියල්ලන් සියළු වාද විවාද මෛත්‍රියෙන් විසදා ගනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ දේශපාලන ළදරුවන්ට පමණි. ඒ සඳහා නිසි යාන්ත්‍රණයන් අත්‍යවශය ය.

නමුත් අද බැහැරට පෙනෙන අන්දමට ප්‍රජාතන්ත්‍රවාදි සිවිල් සමාජ බලවේග පත්ව ඇත්තේ සිද්ධිවාචක දේශපාලනයක තනි තනිව නිරත වීමේ තත්වයකට ය. ප්‍රබල සහ පුළුල් සමුළුවක් මගින් ප්‍රතිපත්තිමය පදනමක් මත සිවිල් සමාජ බලවේග ඒකාබද්ධ කර ගැනීම එකි බලවේගයන්ට තවමත් අවස්ථාව තිබේ.

එමෙන්ම වත්මන් සමාජ දේශපාලන සංදර්භයෙහි තීරණාත්මක ජනමාධ්‍ය භූමිකාව සම්බන්ධයෙන් අප සිවිල් සමාජ පිරිස් දක්වන අඩු සැළකිල්ලද ඉක්මනින් නිවැරදි කර ගත හැකි සහ යුතු එකකි.

මෙහිලා සිවිල් සමාජ කන්ඩායම්වලට මඩකළපුවෙහි අම්පිටියේ සුමනරතන හිමිගෙන් ඉගෙන ගැනිමට යස පාඩමක් තිබේ එහිමියන් කුප්‍රසිද්ධව සිටියේ මාස කිහිපයකට පෙර කරන ලද කුණුහරුප දේශනාව සම්බන්ධයෙනි. නමුත් පසුගියදා තමන් විසින්ම පදිංචි කරවන ලද සිංහල පිරිසකට (මහින්ද රාජපක්ෂට ජන්දය දීම පිණිස) ජන්ද බලය ඉල්ලා එහිමියන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයට පොලිස් ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමට සමත් වීමෙන් සුමනරතන හිමි එක රැයින් වීරයකු බවට පත් විය. ඒ එකම එක සාධකයක් උඩය. එනම් ජනමාධ්‍ය භාවිතය යි. පොලීසිය සිය කණ්ඩායමෙහි තරුණයකු නිරුවත් කර පහර දෙන අවස්ථාවෙහි සුමනරතන හිමි කැ ගසන්නේ පහර දීම නතර කරන ලෙස නොව විඩියෝ කරපල්ලා කියා ය. කල් තබා එම විඩියෝකරුවන් සූදානම් කොට තිබූ බව පැහැදිළිය. එම අඩ නිරුවත් විඩියෝව වයිරසයක් මෙන් පැතිර ගිය අතර ලක්ෂ ගණනාවක් අන්තර් ජාලයෙන් නැරඹුවෝ ය. එපමණක් නොව අවසානයේ දි හෙළ උරුමය එහිමියන් සිය තුරුළට ගත්තේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය නම් සිවිල් සමාජ කන්ඩායම මේ වන විට ලක්ෂ ගණනාවක් පත්‍රිකා සිංහල සහ දෙමළ දෙබසින්ම

මුද්‍රණය කර බෙදා හැර තිබේ. ඒ බිම් මට්ටමේ විශාල රැස්වීම් ගණනාවකට අමතරව ය. පුරවැසි බලය සිවිල් එකතුව ප්‍රසිද්ධ මහජන

රුස්විම් මෙන්ම පුවත්පත් සාකච්ජා පවත්වයි. වෙනසක් සඳහා වීදියේ විරෝධය සිවිල් ජාලය ද සංදර්ශනාත්මක ප්‍රසිද්ධ විරෝධතා

රටපුරා ගෙන යයි.

සිය බලය සහ මතය ප්‍රමාණාත්මකව ඉහළ නැංවිය හැකි ජනමාධ්‍ය භාවිතයක් වෙනුවෙන් ඉහත කී අප සිවිල් සමාජ කණ්ඩායම් දක්වන නොසැළකිල්ල අදටත් වඩා ඍන සාධකයක් බවට ජනවාරි අට වැනිදායින් පසු පත් වීමට ඉඩ තිබේ. දින සියයක් ඉක්මවූ විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ (ෆූටා) අරගලය තුළ අන්තර් ජාල තොරතුරු තාක්ෂණය යොදා ගත් දියණු සහ සිත් කා වදින ආකාරය එම ආචාර්‍යවරුන්ම විසින් නායකත්ව භූමිකා රඟපාන විපක්ෂ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය තුල යම් තරමකටවත් දක්නට නැතිවීම විමතියට කරුණකි.

රාජපක්ෂ පරාජය කිරීම පමණක් ම වුව අද ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුල ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවකි. රාජපක්ෂගේ පරාජය විසින් යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇතිවීම කිසිවකුට වැළක්විය නොහැක. රාජපක්ෂ පරාජය කිරීම ශ්‍රී ලංකාවේ අද දවසේ ප්‍රමුඛතම ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව ය.

එසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජය ඉන් එපිටට යා යුතු ය. මන්ද යත් අපේ අරමුණ හුදෙක් රාජපක්ෂ පරාජය කිරීම පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ළකුණ බවට පත් කිරීම නිසා ය

Back to Top